ක්‍රීඩකයන්ගේ මානසික සුවය වෙනුවෙන් අණ්ඩුව මැදිහත් විය යුතුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල වන දැඩි විවේචන හා පතුරුවා හරින සෘණාත්මක ප්‍රකාශ හේතුවෙන් ක්‍රීඩකයන්ගේ මානසික සුවයට එල්ල වන බලපෑම වැළැක්වීමට රජය හෝ මැදිහත් විය යුතු බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි .

නවසීලන්තය සමඟ ඊයේ (25) පැවති ලෝක කුසලාන සුපිරි 8 වටයේ තරඟය පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය .

ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික හා මානසික යෝග්‍යතාව ජාත්‍යන්තර මට්ටමේ උපරිමයක නොමැති බව පිළිගත් ඔහු, ක්‍රීඩාව වටා නිර්මාණය කර ඇති සෘණාත්මක පරිසරය ඊට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දුන්නේය .

ක්‍රීඩකයන් ධනාත්මක ආකල්ප සහිතව සිටියද, ක්‍රීඩා පිටියෙන් බැහැරව විශාල සෘණාත්මක පරිසරයක් නිර්මාණය කර තිබීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල අගතියක් සිදුවන බව ඔහු පැවසීය.

තරඟයක් නිම වූ වහාම විවිධ පාර්ශ්වයන් මාධ්‍ය ඔස්සේ ක්‍රීඩකයන් විවේචනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ මානසික සුවතාව ගිලිහී යන බව පෙන්වා දෙන ඔහු, රජය හෝ මැදිහත් වී මෙම තත්ත්වය පාලනය කරන්නේ නම් එය අනාගත ක්‍රීඩකයන්ගේ මානසික නිදහසට මහත් පිටුවහලක් වනු ඇතැයි ද පවසා සිටියා.

එමෙන්ම කණ්ඩායම දිනවීමේ පරම චේතනාවෙන් ක්‍රීඩකයන් පිටියට පිවිසෙන බවත්, කිසිවෙකු පරාජය වීමට ක්‍රීඩා නොකරන බවත් දසුන් ශානක අවධාරණය කළා.

රට වෙනුවෙන් ජයග්‍රහණයක් ලබා දීමට නොහැකි වීම පිළිබඳව ක්‍රීඩකයන් ලෙස තමන් දැඩි කණගාටුවකින් පසුවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් ලෝක කුසලාන තරඟාවලියේ තවත් එක් තරඟයක් ඉතිරිව ඇති බව පැවසූ දසුන් ශානක, නායකයා ලෙස අවම වශයෙන් එම තරඟය හෝ ජයග්‍රහණය කර තරඟාවලිය ගෞරවනීය ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.