ක්‍රීඩා සමාජවල ඡන්ද බලයෙන් නිලධාරීන් පත් වන ක්‍රමය වෙනස් නොකරන තාක් කල් ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ පරිහානිය නතර කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි .
වසර 15-20 ක් පුරා එකම තනතුරු දරමින් ක්‍රිකට් ආයතනය පරිපාලනය කරන පිරිස් පිළිබඳව විවේචනය කළ මන්ත්‍රීවරයා, දූෂිත හෝ අදක්ෂ නිලධාරීන් සිටී නම් ඔවුන් වන්දියක් දී හෝ ඉවත් කළ යුතු බවද පැවසීය .
දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, ක්‍රීඩාවේ ඉහළටම ගිය විද්වතුන්ට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකි ස්වාධීන පාලන ව්‍යුහයක් ගොඩනැගිය යුතු බවත්, විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ නිර්දේශ මත සකස් කළ පෞද්ගලික මන්ත්‍රී පනතක් ඇති බවත්, ඒ හරහා මාස එකහමාරක් වැනි කෙටි කාලයකින් ක්‍රිකට් ආයතනය අලුත් ව්‍යුහයකට පත් කළ හැකි බවත් ඔහු පැවසිය .
එමෙන්ම ජනාධිපතිවරයා ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් කිරීමට ගන්නා උත්සාහය අගය කරන බවත්, ඒ සඳහා අවශ්‍ය නෛතික සහ වෘත්තීය මග පෙන්වීම ලබා දීමට තමන් සූදානම් බව සඳහන් කළ අජිත් පී. පෙරේරා නව අතුරු පාලන කමිටුවක් පත්කරන්නේනම් එහි සභාපතීත්වයට යොජනාවී ඇති එරාන් වික්‍රමරත්න පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසූවේ එරාන් වික්‍රමරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ ක්‍රීඩාකර පළපුරුද්ද අති දක්ෂයෙක් බවත්, ඔහුට ක්‍රිකට් කළමණාකරනය හොඳින් කිරීමට හැකි වනු ඇති බවත් ය .
රූපවහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මෙබව පැවසීය .