ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඒ අනුව ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව 15% ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩුවිය යුතු බැව් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනයන්හි ඉහළ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ. ඩොලරයේ අගය රුපියල් 190.00 සිට රුපියල් 370.00 දක්වා විචල්‍ය වූ පරාසය තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහළ ගියද මේ වනවිට ඩොලරයේ අගය විශාල ලෙස පහළ බසිමින් තිබෙන තත්ත්වයක් තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව අඩු විය යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විදුලි බිල ඉහළ යාම , බැංකු පොලී අනුපාත ඉහළ යාම ඇතුළු අනෙකුත් සාධකයන්ද මේ තුළ සැලැකිල්ලට ගත යුතු යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන් රටේ අහිංසක ජනතාවට අවශ්‍ය ඖෂධ උපරිම සාධාරණ මිලට ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ඉතාම කඩිනමින් මේ සම්බන්ධයෙන් මිල කමිටුව ඇතුළු අදාළ අංශ හා නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් මෙරට ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවට ද, ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවශ්‍ය කටයුතු කෙටුම්පත් කර වාර්තාවක් ලබාදෙන ලෙස ද, අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *