ඕනෑම පක්ෂයක් සමග කරට කර තරග කරන්න සූදානම් – දිලිත් ජයවීර

මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එහි නායක දිලිත් ජයවීර මහතා පැවසුවා.

බොරැල්ල සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළේ අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවලංගු වී ඇති බවයි.

“මව්බිම ජනතා පක්ෂය බිහි වුණේ ලංකාවේ ඇති වුන ඒ දේශපාලනික රික්තය පිරවීම සදහා. අපේ පක්ෂය බිහි වන විට ලංකාවේ ඡන්ද දායකයන් ඉතාම වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙලා හිටියේ. පක්ෂ අලුතින් බිහි වන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඊට වඩා තර්කානුකුල, විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගයි මේ පක්ෂය බිහි කළේ. සාම්ප්‍රධායික දේශපාලන වේදිකාවේ ඇසෙන සියලු සාම්ප්‍රධායික වචන, වාක්‍ය අපි ප්‍රතික්ෂේප කරමින් තමයි අපි ඉදිරියට යන්නේ. දැන් අපි ජනතාවට හොද විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පක්ෂවල තිබුනේ අපි දැක්කා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සදහා වන ක්‍රමය නැහැ.

අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්. මේ පක්ෂය හුදු අහම්බයක් නෙවේ. තීරණාත්මක අවස්ථාවක සංකල්ප මත දර්ශනයක් මත පදනම් වෙලා තමයි නිර්මාණය කළේ. අද පොහොට්ටුව අවලංගු වෙලා. හැබැයි ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ නිසා මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්යභාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේම හැටනව ලක්ෂයට අයිති නොවුණු රාජපක්ෂ සන්නාමය නිසා එවකට ඡන්දය ප්‍රකාශ නොකළ සියලු දෙනාත් අපි එකතු කර ගන්න ඕන. මොකද ඔවුන් රටට ආදරය කරන පුද්ගලයින්. අපි නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් සමග මුහුණ දීමට හෝ ඔවුන්ගෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සදහා මුහුණ දීමට හැකියාවක් තියෙනවා.” ‍යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා මෙලෙස අදහස් දැක්වූවා.

“මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් විදියට ප්‍රධාන ධාරාවේ සම්ප්‍රධායික පක්ෂවලින් වෙනස් වූ ගමනක් යන්නේ. අසහනයන් තුරන් කරලා සතුටු දැයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. රටේ පුරවැසියාට සතුටින් ජිවත් වෙලා, රට අතහැර නොගොස් මේ රටේ ජිවත් වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනගන එක අපේ අරමුණයි. බලාපොරොත්තු කඩ වුනු හැටනව ලක්ෂයක් අද මව්බිම ජනතා පක්ෂය දෙස බලා ඉන්නවා. ඔවුන් අද මියැදිලා නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ඨ කරනවා”.

මෙය පක්ෂයේ මංගල මාධ්‍ය හමුව වන අතර ඒ සදහා පක්ෂයේ උප සභාපතිනි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මහ ලේකම් රංජන් සෙනෙවිරත්න, ව්‍යවසායක උපාලි ජයසේකර, හිටපු සබරගමුව පළාත්සභා මන්ත්‍රී ප්‍රභාත් ඩී අල්විස්, උප සභාපති ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!