ඇමති ටිරාන්ට අස්වෙන්න බලපෑම්

ඇතැම් යූටියුබ්කරුවන් සහ දේශපාලනඥයන් රටේ ව්‍යාප්ත වී තිබෙන මත්ද්‍රව්‍ය සහ පාතාල‍ය මඩින්න දියත් කරන මෙහෙයුම්වලට බාධා කරන බවත්, උත්සව අවස්ථාවක තමා විසින් සිදුකළ කතාවක් මුල් කරගෙන ඇමතිකමෙන් ඉවත් වීමට තමන්ට බලපෑම් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉන් මුදවාලීම උදෙසා “සුවසාර කැදැල්ල” ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ අද (8) පැවති ප්‍රධාන වැඩසටහනේ දී.

මෙම අවස්ථාව සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළා.

“අපේ රටේ දූ දරුවන් බේරගන්න තමයි මේ මෙහෙයුම පටන් ගත්තෙ. මෙහෙයුම කරගෙන යද්දි තේරුණා අපි නව වැඩපිළිවෙළක් හදන්න ඕන කියල. ඒ අනුව අපේ ස්වාමීන් වහන්සේලා, වෙනත් ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා කරලා මෙවැනි මධ්‍යස්ථාන 256ක් ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යනවා. අද තමයි එහි කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භය සිදුවුණේ. කුඩු විකුණන අය, කුඩු ගේන අය නැති කරන ගමන්, මේවා පාවිච්චි කරන්න පුරුදු වෙච්ච අය බේරගන්න තමයි මේ පුනරුත්ථාපන කඳවුරු වැනි දේවල් පටන් ගන්නේ. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේ රට මේ කුඩු වලින්, පාතාලයෙන් බේරගන්න අපි සැලසුම් කරලා තියෙන්නේ.”

ඒ සදහා රටේ සියලුම පුරවසියන්ගේ සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා එම අවස්ථාවේ දී ඉල්ලා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!