වෙඩි නොවදින මෝටර් රථයක් නුගේගොඩ, පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී ඊයේ (21) සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
එම රථය ජර්මනියෙන් ආනයනය කළ බෙන්ස් වර්ගයට අයත් එකක් බවත්, එය 2008 වර්ෂයේ මෙරටට ගෙන විත් ඇති අතර එය 2017 පසුව කිසිදු සේවා කටයුත්තක් සඳහා එම රථය මෙරටට ගෙන්වූ ඩිමෝ සමාගමට ගෙනැවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි .
නුගේගොඩ, පාගොඩ පාරේ, පළමුවන පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණයක්දී මෙම රථය සොයාගෙන ඇත. අංක තහඬු නොමැතිව රෙද්දකින් ආවරණය කර තිබු මෙම රිය අළුත් වැඩියාවක් සඳහා ඉකුත් මැයි 23 වනදා ගෙන ආ බවත් ගෙන ආ පුද්ගලයා නාදුනනා බවත් ගරාජයේ හිමිකරු පවසයි.
මෙම මෝටර් රථය පිළිබඳව රේගුවෙන් හා ඩිමෝ ආයතනයෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී එය 2008 වසරේදී ඉන්දීය තානාපති කාර්යාලයෙන් මෙරටට ගෙන්වූ එකක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එය ලැබෙන තෙක් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.