හර්ෂද සිල්වා ඉන්නේ සජබ ද යූ.එන්.පි.යේ ද

හර්ෂද සිල්වා මහත්තයා ඉන්නේ සමගි ජන බලවේගයේද, යූ.එන්.පි.යේ ද යන්න තේරුම් ගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

අද (24) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළා.

“තේරුම් ගන්න බැහැ. එයා සමගි ජන බලවේගයේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වර්ණනා කරනවා. විමධ්‍යගත අරමුදලෙන් රනිල් වික්‍රමසිංහගෙන් සල්ලිත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු හයදෙනෙකුට රුපියල් කෝටි 32ක් දීල තිබෙනවා.” යනුවෙන් ද ඔහු සඳහන් කළා.

ප්‍රශ්නය:
ඔබතුමන්ලා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළා, විවාදයකට එන්න කියලා දින හතරක් ලබාදුන්නා. සජිත් පේමදාස මහතාට වැඩ තිබෙන නිසා, ඒ දින හතර තුළ ඒම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔබලා මේක කියවා ගන්නේ කොහොමද?

පිළිතුර:
මේ තත්වය රටේ ජනතාව දැනටමත් කියවා ගෙන ඉන්නේ. අපි දින හතරක්ම දුන්නේ වැඩ තිබේවි යැයි උපකල්පනය කළ නිසා. ඒ වගේම අනුර සහෝදරයාත් විශාල වැඩ කොටස්වල නිරත වෙමින් ඉන්න කෙනෙක්. මේ විවාදයේ තිබෙන වැදගත්කම සලකා දින හතරක් ලබා දුන්නේ. සජිත් ප්‍රේමදාස මහතාලගේ පැත්තෙන්ම කියනවා මේ විවාදය අතිශයින් වැදගත් කියා. එසේ නම් මේ දින හතරෙන් එකක් තෝරා ගත හැකියි. ඒ හතරම බැරි නම් පුළුවන් දිනය ප්‍රකාශ කරන්න. මේ කරන්නේ මගහරින්න. ඇත්ත වශයෙන්ම, සජිත් මහතා මේ විවාදයට එන්නේ නැහැ. ඒ වෙනුවට මෙය පටලවමින් වෙන කතන්දර කියමින් ඇදගෙන යනවා. ජනතාව නොමග යවන නිසාම අපි දින හතරක් දුන්නා. එහෙම බැරි නම් පුළුවන් දිනයක් කියන්න. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ විවාදයෙන් මගහැර යාම සඳහා ක්‍රම සොයනවා හැරෙන්න මුහුණ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේ මෑතක වීරකැටිය පෙදෙසේ පාසලකට ගොස් පාසල් ළමුන්ට කතා කරනවා ‘මිත්‍රවරුනි’ කියලා. ළමයින්ට කතා කරන්න දන්නේ නැති කෙනෙක් එක්කයි අපට මේ විවාද කරන්න සිදුවෙලා තිබෙන්නේ. ඒ ළමුන්ට කියනවා, “මට දින හතරක් එවා තිබෙනවා. මම ලැහැස්තියි විවාදයට” කියලා. මම හිතන්නේ ඒ විවාදයට ඔහු එන්නේ නැහැ.

ප්‍රශ්නය:
අද සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා, ආර්ථික කමිටුවත් එක්ක ඉල්ලපු විවාදය මඟහරිනවා කියලා. ඇයි එහෙම මග හරින්නේ?

පිළිතුර:
ඇත්තටම එහෙම නැහැ. මේක නොමග යැවීමක් තිබෙන්නේ. අපිත් ඔබත් විශ්වාස කරනවා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් එනවා. ජනාධිපතිවරණයේදි දිනන්නේ සහ තීන්දු ගන්නේ ආර්ථික කමිටුව නොවෙයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන නායකයා අතේ තමයි වැඩි බලය තිබෙන්නේ. එයාලගේ ආර්ථික කමිටුව කියන්නේ හර්ෂද සිල්වා මහත්තයා ඉන්නේ සමගි ජන බලවේගයේද, යූ.එන්.පි.යේ ද කියලා අපට තේරුම් ගන්න බැහැ. එයා සමගි ජන බලවේගයේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වර්ණනා කරනවා. විමධ්‍යගත අරමුදලෙන් රනිල් වික්‍රමසිංහගෙන් සල්ලිත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු හයදෙනෙකුට රුපියල් කෝටි 32ක් දීල තිබෙනවා. එරාන් වික්‍රමරත්න ඉන්නවා. එයා කියලා තියෙනවා “රජයේ දේපළ වික්කාට කමක් නැහැ. මැදපෙරදිග තෙල් විකුණනවා නම්, ඇයි අපට විකුණන්න බැරි” කියලා. මැදපෙරදිග රටවල් තෙල් වික්කාට තෙල් නිධිය විකුණන්නේ නැහැනේ. තෙල් ළිඳ විකුණන්නේ නැහැනේ. එරාන් වික්‍රමරත්නට ඒක තේරුම් ගන්න බැරි නම්, එයාලාවගේ අය එක්ක සාකච්ඡා කරන එකේ තේරුම මොකක්ද? අපේ ගත්තොත් අපි කිරි විකිණිය යුතුයි. හැබැයි කිරි ගොවිපොළ විකුණන්න ඕනෙ නැහැනේ. ලංකාවේ කරන්නේ කිරි විකුණනවා වෙනුවට කිරි ගොවිපොළ විකුණනවා. අපේ නිෂ්පාදිතයන් විකුණනවා වෙනුවට අපේ සම්පත් විකුණන එකයි.

අපි හිතනවා ඊට වඩා වැදගත් වගකීමක් තිබෙන්නේ නායකයොත් එක්ක සාකච්ඡා කරන එකයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාත් අපේ අනුර සහෝදරයාත් එක්ක සාකච්ඡාවක් කරමු. සජිත් මහත්තයා නිශ්චිතව, ලිඛිතව කියනවා නම්, මට එන්න බැහැ. ඕගොල්ලෝ මේ ගොල්ලොත් එක්ක කර ගන්න. ඒත් අපි ලැහැස්තියි. අපේ ආර්ථික කවුන්සිලය ඒක බැහැ කියන්නේ නැහැ. අපි හිතනවා ප්‍රමුඛතාවය ලබාදිය යුතුව තිබෙන්නේ නායකයෝ දෙන්නා අතර සාකච්ඡාවටයි. ඔවුන් තමයි ජනාධිපති අපේක්ෂකයෝ. ඔවුන් තමයි ප්‍රතිපත්තිවලට වගකියන්න ඕනෑ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!