හරක් කටාව සී.අයි.ඩීයෙන් පන්නන්න හැදූ පොලිස් සැරයන් දැලේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව‍යි.

දුරකථන දත්ත ඔස්සේ සිදුකරන ලද විමර්ශනයේ දී හරක් කටාට පළායෑමට භාවිත කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබී අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම ආරක්ෂක හිස්වැසුම රැගෙන ඒම සඳහා සුද්දා නැමති පුද්ගලයෙකු සම්බන්ධ වී තිබුණා.

නමුත් එම සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඔහු පදිංචි ස්ථානයෙන් පළා ගොස් ඇති බවට අනාවරණය වුණා.

කෙසේ නමුත් සුද්දා නැමති එම පුද්ගලයා පිළිබඳව තවදුරටත් දුරකථන විශ්ලේෂණ සිදුකර ඇති අතර, එහිදී සුද්දා යන අය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙම සැරයන්වරයා ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධිය, විදේශගතව සිටි මෙහෙයවනු ලැබූ ‘මිදිගම රුවන්’ නැමැත්තා සමග ද වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ පොලිස් සැරයන්වරයාව ඊයේ (06) දහවල් කාලයේ දී මිදිගම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 36 හැවිරිදි දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.