සිරිමාවෝ විදුහල්පතිනි සුමේධා ජයවීරට එරෙහිව පියවර ගන්නැයි දෙමාපියෝ ඉල්ලති

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන සුමේධා ජයවීරගේ ක්‍රියාකළාපය පිළිබදව බලවත් කණස්සල්ල පලකරමින් එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර ඇතිබව වාර්තා වේ .

අදාළ ලිපියෙහි දැක්වෙන්නේ විදුහල්පතිනියගේ මෙම අන්තනෝමතික ක්‍රියාකළාපය පිළිබදව සොයාබලා හැකි ඉක්මනින් ඇයට එරෙහිව පියවරක් ගන්නා ලෙසයි.

වසර 20 කට අධීක කාලයක් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ජයග්‍රහණ අත්කර දුන් ත්‍රෝ බෝල් කණ්ඩායමට දරුවන් ඇතුළත් ගැනීමේ ක්‍රමවේදයක් තිබියදී එම පාසැලේ සංවර්ධන සමිතියේ ලේකම්වරයාගේ දියණිය නිසි ක්‍රමවේදයට බැහැරව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට බලපෑම් කිරිම පිළිබදව දෙමාපියන් සිය ලිපිය මගින් කරුණු හෙළිකර ඇත .

පාසැල් සංවර්ධන සමිතියේ ලේකම් “අපිට ගොඩක් උදව් කරන මහත්මයෙක්” ලෙස හඳුන්වාදෙමින් ක්‍රීඩා පුහුණුකාරියට අනිසි බලපෑම් කරමින් ඔහුගේ දරුවා පාසැල් කණ්ඩායමට බදවා ගැනීමට බලපෑම් කිරීම විදිහල්පතිනියට තරම් නොවනා බව එම දෙමාපියන් පවසති .

පසුව සමස්ත ලංකා ත්‍රෝ බෝල් තරඟාවලියට පාසැලේ දරුවන් පිටත්ව යෑමට පෙර විදුහල්පතිනියගේ ආශිර්වාදය ලබාගැනීමට යෑමේදී “ඔයාලා නිසා තවත් ළමයි මේ ක්‍රීඩාවට එන්නේ නැහැ, ඔයාලා අනිත් දරුවන්ට හිංසා කරනවා” යැයි පවසමින් පාසැල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාගේ දියණිය කණ්ඩායමට ඇතුළත් කර නොගැනීම පිළිබදව දරුවන්ට ඇය දොස් පවරා ඇතැයි දෙමාපියන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 13 ක් පමණ වන කුඩා දැරියන් හට මෙලෙස මානසිකව පීඩාකිරීම ආචාර්යවරියකද ලෙස තමන්ව හදුන්වාගන්නා ඇයට කිසිසේත් සුදුසු නොවන බවයි.

මීට අමතරව තම නිල නිවසේ සිට පාසැලේ කාර්යාලය වෙත යෑමේදී ඇයට කුඩය ඇල්ලීම, වතුර බෝතලය රැගෙන යෑම වැනි කටයුතුවලට කාර්යාලීය සේවකයින් යොදවා ගන්නා බවත්, එමගින් පාසැල් දරුවන් ඉදිරියේ ඇය වෙනම ප්‍රභූ කාන්තාවක් ලෙසට හැසිරෙමින් ඉතාමත් ප්‍රාථමික ආදර්ශයක් ලබාදෙන බවත් දෙමාපියෝ පවසති .

මීට අමතරව පැසැලේ බුද්ධ පූජාව සැකසීමේදී දරුවන්ට අනිසි බරක් වෙමින් ඉතා මිල අධීක දෑ බුද්ධ පූජාවට රැගෙන ඒමට බලකිරීම, එම බුද්ධ පූජාවද බුදුන්ට පෙර ඇයට පිදීම, පාසැල් ජලනල පද්ධතියෙන් ඇයගේ නිල නිවස වෙත ජලය ලබාගැනීම ඇතුලු කරුණු රැසක් දෙමාපියන් විසින් බළධාරීන්ගේ අවධානයට යොමු කර ඇත .

මෙතෙක් කලක් පාසැලේ සමූහ ඡායාරූපවලදී එම ඡායාරූපයේ සිටිය පාසැල් දැරියන්ගේ හෝ ගුරුවරුන්ගේ නම් සඳහන් වුවද වත්මන් විදුහල්පතිනිය පැමිණීමෙන් අනතුරුව ආචාර්ය සුමේධා ජයවීර සහ පාසැල් ශිෂ්‍යනායිකාවන්, ආචාර්ය සුමේධා ජයවීර සහ පාසැල් කාර්ය මණ්ඩලය, ආචාර්ය සුමේධා ජයවීර සහ බටහිර තූර්යවාදක කණ්ඩායම ලෙස ඇයගේ ආචාර්ය තනතුර හුවා දැක්වෙන පරිදි දිගින් දිගටම කටයුතු කරන බව දෙමාපියෝ චෝදනා කරති .