සාමාන්‍ය පෙළ 10 වසරට

11 ශ්‍රේණියේදී පවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

දරුවන් අධ්‍යාපනයේ දී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා එවිට වයස පහළොවේදී අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවද ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් උසස් පෙළ විභාගය සඳහා දරුවකුට අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවද ඔහු සඳහන් කළේය.

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද පැවසීය.

“අපි යෝජනා කරලා තියෙනවා ෆ්‍රී ප්‍රයිමරි එක පටන් ගන්න. අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕන. ළමයි දෙසිය ට අඩු පාසල් හාරදාහක් තියෙනවා. ළමයි සීයට අඩු පාසල් 2900 තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ෆ්‍රී ප්‍රයිමරි එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ජාතික අධ්‍යාපන ආයතනය වැඩසටහන හදලා ඉවරයි. ඒ හඳුන්වාදීම එක්ක තමයි දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ දහයට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4ක ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු පහළොවෙන් සාමාන්‍ය පෙළ ලියනවා. දාහතේදී උසස් පෙළ ලියනවා එතකොට වයස්ගත වීම අඩු වෙනවා”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!