සජිත්ගේ විපක්ෂනායකධූරය ආරක්ෂා කර දෙනවා – රනිල්ගෙන් සජිත්ට සහතිකයක්

සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ විපක්ෂනායක කමට කිසිදු තර්ජනයක් වීමට තමන් ඉඩ නොදෙන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් ඔහු වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් ඊයේ (03) පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා විසින් “බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම “මම මෙහිදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා දැන් හරි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපත් සමග එක්වන්න කියලා. ඊට පසුව ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිත් රට ගොඩනඟන්න උදව් කළා කියලා.”

“ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු. දැන් ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා මම නැවත ඉල්ලනවා, මේ රටේ ජනතාවට සහනයක් දෙන්න කරුණකරලා අපත් සමග එක්වන්න කියලා. මේ විදියට බොරු තර්ක ඉදිරිපත් කරලා හරියන්නේ නැහැ. විපක්ෂය දිගටම එයින් අසාර්ථක වී තිබෙනවා.”

“අවශ්‍ය නම් මම සූදානම් කතානායකතුමා සමඟ සාකච්ඡා කර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් වගකීම් දෙන්න. දැනටත් ඔවුන් උපදේශක කාරක සභා ආදියෙහි වගකීම් දරනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කිරීම ඇතුළු තවත් වැඩකටයුතු සිදු වෙනවා. ඒ නිසා තවත් අවශ්‍ය නම් වගකීම් දෙනන් අපි සූදානම්. කරුණාකර ආණ්ඩුවට සහාය දෙන්න. විපක්ෂනායක කමට කිසිදු තර්ජනයක් වීමට අප ඉඩ දෙන්නේ නැහැ කියලත් මම කියන්න කැමතියි”

යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *