ශ්‍රී ලංකාව යුධමය තත්ත්වයකට මැදිවෙලා .

අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි . ඔහු මේබව පැවසූවේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති හදිසි නීතිය දීට්ඝ කිරීමේ විවාදයේ පිළිතුරු කථාව කරමිනි .

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැවසීය .

“මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලාසිටින්නන් පිරිසක් බවට අප පත්වෙලා . එම තත්ත්වය උඩ කවුරුන්, කෙලෙස වින්දිතයන් බවට පත් වේද කියලා පුරෝකථනය කරන බෑ . කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම භාරගන්නට සිදුවේදැයි අපිට කියන්නට බෑ . එවැනි තත්ත්වයක් උදාවුවහොත් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අනුමාන කරන්නත් බැහැ.

ගල්ෆ් කළාපයෙන් සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුතුයි . අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුතුයි. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැති නමුත් හැකි පමණින් සූදානම්වීමට ඉඩ ලැබෙනවා”