විදුහල්පතිලාගේ දුක අහන්නට කමිටුවක්.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත්ව පරීක්ෂා කර බලා කඩිනමින් විසඳුම් වාර්තා කරනු පිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් කමිටුවක් පත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පස් දෙනකුගෙන් සමන්විත එම කමිටුව දැනටමත් සිය කටයුතු ආරම්භ කර ඇත. සියලු ම විදුහල්පති සංගම්වලින් ඔවුන්ගේ යෝජනා ලබාගෙන ඇති අතර වැඩිමනත් කරුණු දැක්වීමට මැයි මස 9 වෙනි දින දක්වා කල් ලබා දී තිබේ.

මැයි 15 දින සිට සමිති සංවිධාන සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් කරුණු විමසීමට ද පළාත් කලාප කාර්යාල හා තෝරාගත් පාසල් කිහිපයකට ගොස් විදුහල්පති කාර්යභාරය පිළිබඳ වර්තමාන තත්වය සොයා බැලීමට ද අදහස් කරන බව සභාපතිවරයා පැවසී ය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද අදාළ කරගනිමින් විදුහල්පති සේවය ශක්තිමත් කිරීමට අදාළ පියවර යෝජනා කරන මෙන් අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දී ඇත. ඉදිරි මාස දෙක ඇතුළත දී කමිටු වාර්තාව බාර දීමට නියමිත ව ඇත.

මාධ්‍ය ඒකකය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *