වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්දනුවරින් සොයා ගැනේ.

ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න විසින් 2022 වසරේ දී පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව ප්‍රදේශය තුළ සිදු කළ ගවේෂණයක දී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව ඇත‍. එම සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කරණ (වයඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය) කණ්ඩායමේ සාමාජිකයෙකු සහ වයඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්ද්‍රකීල මාදොල දැනුවත් කොට Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ වල ශාකාගාර නිදර්ශක, ජීවි ශාක නිදර්ශක සහ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කර සොයා ගත් මෙම ශාක විශේෂය වඳ වී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් බවට තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.

Lagenandra erosa

පොදුවේ මෙම ශාක විශේෂ අයත් ශාක ගණය හැඳින්වීම සඳහා කෙතල (Lagenandra) යන නාමය භාවිතා කරනු ලබයි. මෙලෙස සොයා ගත් ශාක විශේෂය සිංහල භාෂාවෙන් හැඳින්වීම සඳහා සිංහල නාමයක් පවතීද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර මෙරටට ආවේණික විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මෙම ශාක විශේෂය සඳහා නොමැත. Lagenandra erosa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේ දී ශාක රාජධානියේ Alismatales පෙළපතට අයත් Araceae පවුලට අයත් Lagenandra ගණයට අයත්වේ.

ජලාශ්‍රිත පරිසර පද්ධති තුළ දක්නට ලැබෙන මෙම කෙතල ශාක විශේෂ 21ක් ලෝකයේ විවිධ රටවල්වලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 14 ක් ශ්‍රී ලංකාවෙන් හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම විශේෂ 14 න් 13 ක්ම මෙරටට ආවේණික විශේෂ වීමය. මෙම Lagenandra erosa ශාක විශේෂය අඩ සියවසකට පෙර 70 දශකයේදී විසිතුරු ජලජ ශාකයක් ලෙස ශ්‍රී ලංකාවෙන් යුරෝපයේ මින් මැදුරු සඳහා අපනයනය කොට ඇති අතර එසේ අපනයනය කල ජලජ ශාක අතර පැවති මෙම ශාක නිදර්ශක කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම ශාක විශේෂය පිළිබඳව ලොවට හඳුන්වා දී තිබේ. එලෙස සොයා ගත් ශාක විශේෂය නාමකරණය එකල යුරෝපයේදී සිදු කර ඇතත් එහි ස්වාභාවික ගහනය සොයා ගෙන ඇති මුල් ප්‍රදේශය ආදී කිසිදු තොරතුරක් මුල් හඳුන්වා දීමේදී සඳහන් කිරීමට ඔවුන් සමත් වී නොමැත.

මෙසේ නාමකරණය පමණක් සඳහන්ව පැවති මෙම ශාක විශේෂය පාලින්දනුවර ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි වීම ස්වාභාවික පරිසරයෙන් මෙම විශේෂය සොයා ගත් පළමු අවස්ථාව වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත 2022 ජාතික රතු දත්ත වාර්තාවේ මෙම ශාක විශේෂයේ ජාතික සංරක්ෂණ තත්වය Critically Endangered (Possibly Extinct) (CR(PE)) දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (සමහර විට වඳ වී ගොස් ඇත) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබේ.

ඉන්ද්‍රකීල මාදොල, පේශල පසන් ,දීප්ති යකන්දාවල,කපිල යකන්දාවල

මෙම සොයා ගැනීමෙන් පසු මහාචාර්ය දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය කපිල යකන්දාවල (වයඹ විශ්වවිද්‍යාලය), ඉන්ද්‍රකීල මාදොල (වයඹ විශ්ව විද්‍යාලය) සහ පේශල පසන් කරුණාරත්න (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය) යන පර්යේෂක කණ්ඩායම විසින් මෙම ශාක විශේෂය පිළිබඳ දත්ත රැස් කොට පර්යේෂණ කටයුතු සිදු කර පර්යේෂණ පත්‍රිකාවක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම සඳහා යොමුකර ඇත. එම පර්යේෂණ පත්‍රිකාව 2023.10.27 වන දින අන්තර් ජාතික පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරන https://phytotaxa.mapress.com/pt/article/view/phytotaxa.622.3.5 යන වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබේ. එය ශ්‍රී ලංකාවේ වටිනාකමට මෙන්ම ලංකාවේ සිදු වන ශාක පිළිබඳ පර්යේෂණ සඳහා විශාල වටිනාකමක් එක් කිරීමට හේතු වී තිබේ.

කෙසේ නමුත් දැනට ලංකාවේ පරිසර හායනයන් විශාල ලෙස සිදුවීම නිසා මෙවැනි ශාක විශේෂ හඳුනා ගැනීමටත් පෙර ලෝකයෙන් තුරන් වීම සිදුවන අතර ඒ සඳහා පිළියම් ලෙස ලංකාව තුළ පවත්නා පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ජාතික මට්ටමෙන් කටයුතු සිදු කළ යුතුවේ. ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට හැකි වනු ඇත.

පේශල පසන් කරුණාරත්න

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *