ලෝක වාර්තාවක් තැබූ ලොව ලාබාලතම චිත්‍ර ශිල්පියා (Photos)

ඝානා ජාතික Ace –Liam නැමති දරුවෙකු ලොව ලාබාලතම චිත්‍ර ශිල්පියා ලෙස ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ වයස අවුරුදු 1යි මාස 5ක දරුවෙකු මෙම අදහාගත නොහැකි ජයග්‍රහණය ලබා ඇති බවයි.

කුඩා Ace –Liam ලොව ලාබාලතම චිත්‍ර ශිල්පියා වශයෙන් ගිනස් ලෝක වාර්තාවක් තැබූ බවට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය සදුදා දිනයේ දීයි.

මෙම දරුවාගේ මව විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ Ace –Liamගේ චිත්‍ර ඇදීමේ දක්ෂතාවය තමාට වැටහුණේ ඔහුට වයස මාස හයේ දී පමණ බවයි.

මෙම ගිනස් වාර්තාව සඳහා සුදුසුකම් ලැබීමට නම් කුඩා Ace –Liamගේ චිත්‍ර මහජනතාවට විවෘත වූ වෘත්තිය චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විය යුතු බවත්, Ace –Liamගේ චිත්‍ර මහජනතාව වෙත විකිණීම ද කළ යුතු බවට උපදෙස් ලැබී තිබුණා.

ඒ අනුව Ace –Liamගේ නිර්මාණ පසුගිය දෙසැම්බර් සිට ජනවාරි මුල් දක්වා Accra අගනුවර විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙනවා.

එම ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර 10 අතුරින් චිත්‍ර 9ක් විකුණා ඇති බවත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ඝානාවේ ජනාධිපති ආර්යාව පවා කුඩා Ace –Liamගේ සිතුවම් දැක පුදුමයට පත් වූ බවත් විදෙස් මාධ්‍යයේ සඳහන්.

මේ වන විට Ace –Liamගේ සිතුවම් 15ක් අලෙවි වී ඇති බවත් ළහදීම ඔහුගේ චිත්‍ර වෙන්දේසියක් පැවැත්වීමට සූදානම් බවත් Ace –Liamගේ මව විදෙස් මාධ්‍ය සමග වැඩිදුරටත් පවසා තිබුණා.