ලාංකික ISIS පිරිසට ‘ආයුධ එවුවේ’ ඩ්‍රෝන භාවිත කරලා

ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකික ISIS සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා ගුජරාට් ත්‍රස්ත විරෝධී බළකායේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලාංකික ISIS සැකකරුවන් සිව් දෙනා පසුගිය මැයි 20 වැනිදා අහමදාබාද් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වන විට මෙරට ආරක්ෂක අංශ විසින් එම සිව් දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔස්මන්ඩ් ජෙරාඩ් නම් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීමට තොරතුරු දෙන අයෙක්ට රුපියල් මිලියන 2ක ත්‍යාග මුදලක් ලබාදෙන බවට පොලීසිය පසුගියදා නිවේදනය කළා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ 20 වැනිදා අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව් දෙනා “අබු පාකිස්තානි” නම් දේශකයෙක් සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි.

එසේම පාකිස්තානයේ සිට ඩ්‍රෝන භාවිත කර දේශසීමාවට ඉහළින් ආයුධයක් පන්ජාබ් ප්‍රදේශයට එවා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.