රනිල්ගේ ප්‍රශ්ණයට නීතිපති වැට උඩ .

එක්සත් රාජධානියේ කළ සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මත දෙකක් පිහිටා කටයුතු කරනා බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාට චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබේද නැතහොත් මෙම කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මත පදනම්ව සාක්ෂි ප්‍රමාණවත් නොවේද යන්න පිළිබඳ මෙම මත ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශනය අධීක්ෂණය කරමින් සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා, විමර්ශනය සම්බන්ධයෙන් වන මතභේද හේතුවෙන් මෙම වගකීම්වලින් ඉවත් වී ඇති බවද දැනගන්නට ලැබේ.

එම නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් විමර්ශනය භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ගේ මතය වී ඇත්තේ, මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් කිසිදු පුද්ගලයකුට චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් හෙළි වී නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති ප්‍රධාන අපරාධ චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති අවස්ථාවක, එම අපරාධයටම ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකට චෝදනා එල්ල කිරීමේ හැකියාවක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර්වරයා ප්‍රකාශ කර ඇතිබව පැවසේ .

පවතින සාක්ෂි සහ විමර්ශන උපුටා ගැනීම් මත පදනම්ව වික්‍රමසිංහට හෝ වෙනත් කිසිදු පුද්ගලයකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැක්කේ මන්දැයි දැක්වෙන පිටු හයක වාර්තාවක් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් නීතිපති පාරින්ද රණසිංහට ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත්, විමර්ශනයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරේරාගේ මතයට පටහැනි මතයක් ඉදිරිපත් කර ඇත. පවතින සාක්ෂි මත පදනම්ව වික්‍රමසිංහට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකි බව ඔහු නීතිපතිවරයාට දන්වා තිබේ.