රටටම එපා වූ කටුපොල් වගාවට රවීගේ හිත යයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි . ඔහු ඒ බව පැවසූවේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි. එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.

අපනයන භෝගයක් ලෙස දියුණු කරන්න පුළුවන් මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටින ලදි. තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වා දුන්නේය. අක්කර එකක කටුපොල් වැවිමෙන් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක්උපයා ගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වා දුන්නේය. ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බවයි ඔවුහු පවසති .

මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පවතින දුර්මත ඉවත් කරගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවද ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!