මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වේ

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍ය පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය සමඟින් අද (21) ආරම්භ වේ.

පෙරහැර සඳහා කප් සිටුවීම ඉකුත් 17 වන දින සිව් මහා දේවාලයන්හීදී සිදුවූ අතර එදින සිට අවස්ථා පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්විණි.

අගොස්තු මස 21 සිට 25 දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි. පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අගෝස්තු මස 26 වන දින සිදුවේ. එතැන් සිට දින පහක් එනම් අගෝස්තු 30 වන දින දක්වා රන්දෝල් පෙරහැර ගමන් ගනී. අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනුයේ අගෝස්තු මස 30 දින වන අතර එදින සාධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ තැම්පත් කිරීමෙන් අනතුරුව පසුදින අලුයම් කාලයේ ගැටඹේ දිය කපනා ගංතොටේදී දිය කැපීමේ මංගල්‍ය සිදුවේ.

දිය කැපීමෙන් පසු සිව් මහා දේවාල පෙරහැර මහනුවර කටුකැලේ සෙල්වවිනයාගර් හින්දු කෝවිලට පැමිණ පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව 31 දින පැවැත්වෙන දහවල් පෙරහැර හා එක්වේ. අස්ගිරිය ගෙඩිගේ විහාරයේ තැම්පත් කොට ඇති සධාතුක පෙරහැර කරඩුව වැඩම කොට ගත් දහවල් පෙරහැර මහනුවර ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් හැරී ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *