මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ඩෙංගු මර්ධණයෙන් ඉවත් වෙති.

ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යමින් පැවතියද ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර මාධ්‍යට අදහස් දක්වමින් පැවසූවේ බලධාරීන් තම දුක්ගැනවිලිවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.

ක්ෂේත්‍ර රාජකාරි සඳහා ලබා දෙන සැතපුම් කුළී සහ ප්‍රවාහන දීමනා වැඩි කිරීමට අපොහොසත් වීම
තම වෘතීය ක්‍රියා මාර්ගයට ප්‍රධාන හේතුවක් බව ඔහු පැවසීය . මෙම දීමනා ඉහළ යන ජීවන වියදම, ඉන්ධන මිල සහ යතුරුපැදි නඩත්තු වියදම් සමඟ සමපාත නොවීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මූල්‍ය දුෂ්කරතා ඇති වී ඇති බව ඔහු අවධාරණය කළේය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 71,800ක් වාර්තා වී ඇති අතර මරණ 44ක් වාර්තා වී තිබේ. පවතින වැසි තත්ත්වය හේතුවෙන් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!