ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට සූදානම් බව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.
සිය පක්ෂයේම ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් විය යුතු බවත්, එය පෙර ආකාරයේ මෙන් පාණ්ඩුවක් නොවී නියම එඩිතර ආණ්ඩුවක් වීමට කටයුතු කළ යුතු බවයි පක්ෂ සම්මේලනය අමතමින් ඔහු සඳහන් කළේය.
එමෙන්ම නොයෙක් තර්ජන මද්දයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි බැසිල් රාජපක්ෂ ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් පැවසීය.
“ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා…”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගල් ගැසීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී බලාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.