බැංකු කාර්ඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්න පුළුවන් බස් මාර්ග මෙන්න .

බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය .

එම වැඩපිළිවෙල ආරම්භ කරමින් අද දිනයේදී මාකුඹුර – මාතර, මාකුඹුර – ගාල්ල, මාකුඹුර – බදුල්ල, කොළඹ – අම්පාර යන අධිවේගී මාර්ග බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව හඳුන්වා දෙනු ලැබීය .

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බොරැල්ල – කඩවත දක්වාද, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල – බණ්ඩාරවෙල, දඹුල්ල – මහියංගනය, මොනරාගල – බිබිල සහ මොනරාගල – වැල්ලවාය අතර ධාවනය වන බස් රථ සඳහාද බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී පැවසීය .

එමෙන්ම හෙට (25) දිනයේදී කොළඹ – වව්නියාව, කඩවත මහරගම, මාකුඹුර – තංගල්ල සහ මාකුඹුර – අඟුණුකොලපැලැස්ස දක්වා ධාවනය වන බස් රථ සඳහා මෙම ක්‍රියාලිය ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන ආරම්භ කරනා ලද බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාණ්ඩර් ගාමිණී ජාසිංහ පැවසුවේ මෙම ක්‍රියාවලියට අනුව එළැඹෙන දෙසැම්බර් මාසය වන විටදී බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම අධිවේගී බස් රථ සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

දෙසැම්බර් මාසය තුළදී එම ක්‍රියාවලිය ආරම්භ කර පසුව එළැඹෙන 2026 වසර අවසන් වන විට බස්නාහිර පළාතේ සියලුම බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය .