බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ .

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊට අදාළ නඩුව අද (09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබීය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසට, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙකු ඇතුළත් වෙයි .

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කළාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නඩුව පවරා ඇත.