බංග්ලාදේශ පිල හමුවේ ඉන්දියාව පරාජය වෙයි .

‘ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ ‘A’ කණ්ඩායම අද (21) සමත්විය. ඒ ප්‍රතම අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීය පිල පරාජය කරමිනි.

අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් යවීමට සිදු විය .

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 තුළදී කඩුළු 6 ක් දැවී ලකුණු 194 ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාවද පන්දුවාර 20 තුළදී කඩුළු 6 ක් දැවී ලකුණු 194 රැස්කිරීමට සමත් විය.

මෙහිදී ඉන්දියාවට අවසන් පන්දුවේදී ලකුණු 4ක් අවශ්‍යව තිබූ අතර, බංග්ලාදේශ පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ලකුණු 3ක් ලබාගනිමින් ඔවුන් තරගය සම කළේය.

කෙසේ නමුත් සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් දෙදෙනාම පළමු පන්දු දෙකේදීම දවාගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

ඒ අනුව බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍ය වුවද, ඔවුන්ගේද පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දැවී ගියේය.

කෙසේ නමුත් දෙවන පන්දුව වයිඩ් පන්දුවක් වූයෙන් තරගය ජය බංග්ලාදේශය සතු වූ අතර, ඒ සමග ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.