තැන් තැන්වල චූ කක්කා දාන පිරිසක් ගැන මෛත්‍රී හෙළිකරයි

යහපාලන ආණ්ඩුවේ මම ජනාධිපති වුණා වගේ ඉදිරියේ දී එන ජනාධිපතිවරණයට විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට ද ඉඩකඩ පවතින බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ ඊයේ (28) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවා.

ඔහු වැඩිදුරටත් මෙලෙස ද අදහස් දැක්වූවා.

“පක්ෂයේ හිටිය මුරණ්ඩු දරුවෝ ටික එහේ මෙහේ දුවලා නැවතත් ඒවි. පොඩි දරුවෝ තැන් තැන්වල චූ කරනවා. කක්කා කරනවනේ. සමහර වෙලාවට ඇගෙත් චූ කරගන්නවා. පොඩ්ඩක් තේරෙනකොට ඕවා හරියනවා. එහෙ මෙහේ දුවලා නැවත් මහ ගෙදරට ඒවි.

ජනාධිපතිවරණයේ දී අපට කවුරුත් අභියෝගයක් නෙමෙයි. අනුර, රනිල්, සජිත් ඔය කියන කිසිම කෙනෙක් අපිට අභියෝගයක් නෙමෙයි.”

එම අවස්ථාවට එක්ව සිටි විජයදාස රාජපක්ෂ මහතා ද මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙලෙස පැවසුවා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙගොල්ලක් නැහැ. ඉන්නේ අපි විතරයි. නඩු දාන්න නම් ඕන කෙනෙක්ට පුළුවන්නේ. පාරේ යන කෙනෙකුට වුණත් පුළුවන් නඩු දාන්න නම්. කවුරු මොනව කළත් අපි ගණන් ගන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගන්නවා. පක්ෂය තීරණය කරයි මොකක් ද විය යුත්තේ කියලා.

අපි කාගෙවත් සක්ක මුක්කු නොවෙයි. සන්ධානගත වෙන්නේ දුර්වලයෝ. තනියම නැගිටින්න බැරි මිනිස්සු විතරයි සන්ධානගත වෙන්නේ. කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් මිනිස්සු අනුන්ගේ ඒවට ගිහින් හේත්තු වෙන්නේ නැහැ. අපි තනි අලියා වගේ ඉදිරියට යනවා. ඇත් රංචුවකට කරන්න බැරි බොහෝ දේ තනි අලියට කරන්න පුළුවන්.

මම මේ රටේ තියෙන නීතී නොදැන නෙවෙයි මේවා කරන්නේ. රටේ යහපත වෙනුවෙන් විශාල පිපිරීමක් ඉදිරියේ දී වෙන්න පුළුවන්.”

දිස්ත්‍රික් මට්ටමින් සහ ආසන මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වයේ දේශපාලනඥයින් සහ දිස්ත්‍රික් සංවිධායකයන් ඇතුළු පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!