පැරණි කම්කරු නීති වෙනස් කර හදන අලුත් පනත ගැන ඇමති මනුෂ කියන කතාව

ශ්‍රි ලංකාව දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කර ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සම්මුතීන්ට අනුකූලව නව කම්කරු නීතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සූදනමින් සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර මහතා පවසනවා.

නීතිමය රාමුව විධිමත් කිරීමට සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම අරමුණ සාර්ථක කරගනු වස් “රැකියා පනත” නම් නව කම්කරු නීතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජිනීවා හි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින්.

ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කිරීමට සූදනමින් සිටින කම්කරු නීතිය ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ILO සම්මුති 189ට අනුගත බවත්, මෙම පනත බලාත්මක කිරීමත් සමඟ ILO සම්මුතීන් 155 සහ 190 අපරානුමත කිරීමට සැලසුම් කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

COVID-19 වසංගතය හේතුවෙන් 2022 වසරේ දී ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දුන් ශ්‍රී ලංකාව 2023 වසරේ දී නිවැරදි කළමණාකරණය මගින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගත් බවත්, සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැලපීම්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ සාර්ව ආර්ථික තත්ත්වයන් ඊට හේතු වු බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

ජාතික ආර්ථිකයට කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම සහ කාන්තාවන්ට යහපත් රැකියා පරිසරයක් සහතික කිරීම සඳහා, ILO සහ IOM ආයතනයන්ගේ කාර්යාල සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් සත්කාරක සේවිකාවන් 10,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් මනුෂ මහතා පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.

”ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට පසුගිය කාලයේ පත්වූ සෑම රජයක්ම උත්සහ ගත් නමුත් එය සාර්ථක වුනේ නෑ. පසුගිය මාසයේදී අපි ඔවුන්ගේ වැටුප් 70% කින් වැඩි කළා . එය පසුගිය වසර 200 තුළ ඔවුන් ලැබූ ඉහළම වැටුප් වර්ධකයයි.

ශ්‍රී ලංකා රජය, ILO සම්මුතිය 102 හි දක්වා ඇති පරිදි, පුළුල් සමාජ ආරක්ෂණ පද්ධතියක වැදගත්කම පිළිබඳව අපි විශ්වාස කරනවා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සම්මෙලනයේ සහය ඇතිව අපි පුළුල් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිනවා.

තවද, අවිධිමත් අංශයේ සේවකයන්ට සමාජ සාධාරණත්වය ඉටුකිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එම “ගරුසරු ” (Dignity of Labour) වැඩසටහනේ අරමුණ වන්නේ රට පුරා සිටින අවිධිමත් අංශයේ සේවකයින්ගේ පිළිගැනීම, ආරක්ෂාව සහ අභිමානය ඉහළ නැංවීමයි.

මෙම වැඩසටහන යටතේ, අවිධිමත් අංශයේ සේවකයින් සංවිධානය කරනු ලබන අතර, රැකියා නියමයන් සහ කොන්දේසි තීරණය කිරීම සඳහා ඔවුන්ගේ වෘත්තීන් මත පදනම්ව ජාතික මට්ටමේ සභා පිහිටු වීමට කටයුතු කරනවා.”

ශ්‍රී ලංකාව ගෙන යන එම වැඩපිළිවෙළට හැකි සෑම ආකාරයකින්ම සහය දෙන ලෙස ද එම අවස්ථාවට සහභාගී වී සිටි විදෙස් නියෝජිතයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!