පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිස්තෝල ඉල්ලති .

ආරක්ෂාව සඳහා පිස්තෝල ගිනි අවි ලබා දෙන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී ඇති බව වාර්තා වේ .

විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයා මාර්ගයෙන් පොලිස්පතිවරයාගෙන් කර ඇති ඉල්ලීමට අමතරවය .

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතානට ජීවිත තර්ජන ඇතැයි පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පසුගිය දින කිහිපයේම ඔවුන්ට ආරක්ෂාව ඉල්ලා සිටිහ .

ඒ සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති අතර ඊට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය එක් විය.

එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද, ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කර ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂ‍ාව ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් කථානායකවරයා පෙන්වා දී ඇත.