පාකිස්ථානයේ සංචාරය කරනා ශ්‍රී ලංකා පිල ගැන ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් නිවේදනයක් .

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත .

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු මත යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඊයේ (12) උදෑසන තමන් වෙත දැන්වූ බව ශ්‍රී අංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි .

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සමග මේ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කර ඇත . එහිදී සෑම අයෙකුගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ අදාළ බලධාරීන් සමග සමීප සබඳතා පවත්වමින් කටයුතු කිරීමටත්, සියලු ගැටළු නිසි ලෙස විසඳන බවටත් ක්‍රීඩකයන්ට සහතික වූ බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම තත්ත්වය තුළ තරගාවලිය සැලසුම්කළ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ආදේශක ක්‍රීඩකයන් කණ්ඩායනට යොමුකිරීමට සූදානම් බව බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි .