ජංගම දුරකථන අස්ථානගත වීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මහජනතාව දැනුවත් කරමින් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
ජංගම දුරකථන අස්ථානගත වීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම.
දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන නැති වීම්, අස්ථානගත වීම් සහ සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලි දෛනිකව වාර්තා වේ. විශේෂයෙන් ජංගම දුරකථනයක් නැති වීම, අස්ථානගත වීම හෝ සොරකමකදී එම දුරකථනය වෙනත් පාර්ශවයක් වෙත පත්වීම මඟින් එම ජංගම දුරකථනය හරහා යම් අවභාවිතාවන් සිදුවීමේ හැකියාව ඇත.
එවැනි අවභාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත්ව සිටිමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු වේ. විශේෂයෙන් සමාජ විරෝධී, නීති විරෝධී, අනීතික ක්‍රියාකාරකම් සඳහා මෙම නැති වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන යොදා ගැනෙන බවට නිරීක්ෂණය වී ඇත.
එවැනි අවස්ථාවන්වලදී අදාල ජංගම දුරකථන හිමියන් වින්දිතයන් බවට පත් වේ. මූල්‍ය තොරතුරු, පුද්ගලික තොරතුරු, ඡායාරූප, සංවේදී තොරතුරු ඇතුළු සියලුම තොරතුරු ඇතුළත් ජංගම දුරකථනයක් වෙනත් පාර්ශවයන් වෙත ලැබීම අපරාධකරුවන්හට තම අභිලාශයන් ඉටු කර ගැනීමට හැකියාව ඇති බවට මේ වන විට වාර්තා වන ලද පැමිණිලි අනුව පෙනී ගොස් ඇත.
ජංගම දුරකථනය අස්ථානගත වීම හෝ නැති වීමක් හෝ යමෙකු සොරා ගත් විට අනුගමනය කළ යුතු වැදගත් පියවරයන් කිහිපයක් ඇත. ඒ අනුව
පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රිය කර ගැනීම සිදු කළ හැක.)
එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීති විරෝධී, සමාජ විරෝධී සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව අහිමි වේ. සිම්පත අක්‍රීය කිරීම හරහා වෙනත් පාර්ශවයකට ලැබෙන්නා වූ එම ජංගම දුරකථනය නැවත සොයා ගැනීමටද පහසුවනු ඇත.
ජංගම දුරකථනයක් නැති වූ හෝ අස්ථානගත වූ විටෙකදී සොරකමට භාජනය වූ ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට IMEI අංකය සඳහන් කිරීම වැදගත් කරුණකි.
ජංගම දුරකථනය අස්ථානගත වන්නට පෙර, නැති වෙන්නට පෙර, IMEI අංකය ඇතුළු සේවා විස්තර තමා සතුව තබා ගැනීම අදාල පුද්ගලයන්ගේ වගකීමකි. ජංගම දුරකථනයක IMEI අංකය සොයා ගැනීම සඳහා මෙම කෙටි යෙදුම (*#06# ) භාවිතා කළ හැක.
තවද ශ්‍රී ලංකා පොලිසිය මඟින් මෘදුකාංගයක් හරහා ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රම වේදයක් හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ineed.police.lk නම් වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැක.
එම වෙබ් අඩවියට පිවිස දැනුම් දීමෙන් අනතුරුව ඒ හරහා ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් අදාල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
2024 වසරේදී අස්ථානගත වූ දුරකථන 2796 ක් නැවත සොයා ගෙන හිමිකරුවන්ට භාර දීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වී ඇත. එමෙන්ම 2024 දී සොරකම් කරන ලද ජංගම දුරකථන 928 දත්ත නිවැරදිව සම්පූර්ණ වීම හේතුවෙන් මහජනතාවට ලබා දීමට ක්‍රියා කර ඇති අතර එම අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම 2025 වසරේදී අස්ථානගත වූ දුරකථන 2355 ක් නැවත සොයා ගැනීමට හා සොරකම් කරන ලද දුරකථන 1019 ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වී ඇත.
තවද, යම් අයෙකුට හිමි නැති දේපලක් හමු වූ විට කඩිනමින් ළඟම තිබෙන පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියකුට එම දේපල භාර දී සහතිකයක් හෝ සටහනක් ලබා ගැනීම හෝ පැමිණිල්ලක් ආශ්රයෙන් ඒ පිළිබඳ දැනුම් දීමේ හැකියාව ඇත.
තමාට අයත් නොවන දේපලක් තමා භාරයේ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී සාවද්‍ය පරිහරණය නැමති අපරාධමය වරදක් සංස්ථාපනය වේ. මෙහිදී වසර 02ක සිරදඬුවමකට යටත් වීමේ හැකියාව ඇත. එබැවින් තමාට අයිති නැති දේපලක් තම සන්තකයේ තබා ගැනීම නීතිය ඉදිරියේ වරදකී. යම් පුද්ගලයෙකු සොරාගත් ජංගම දුරකථනයක් හෝ වෙනත් දේපලක් අඩු මිලට ලබා දීම හේතුවෙන් එය මිලදී ගෙන සොර බඩු ලඟ තබා ගැනීම මඟින් එම පුද්ගලයා වරදකට වරදකරුවෙකු වන අතර වසර 03 ක කාලයක් සිර දඬුවම් විඳීමට සිදු වනු ඇත.
නව ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී I need system නැමැති මෘදුකාංග මඟින් Find Genuine Phone යන සංකල්පය හරහා එම ජංගම දුරකථනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබී ඇත්ද, එය සොරකම් කරන ලද ජංගම දුරකථනයක් ද යන්න තොරතුරු පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව පුද්ගලයින් විසින් ඉදිරියේදී මිලදී ගනු ලබන ජංගම දුරකථන පිළිබඳවත් එම ස්ථාන පිළිබඳවත් දැඩි අවධානය යොමු කළ යුතු බව පොලිසිය මහජනතාවට දැනුම් දී සිටී.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.