දේශපාලන බලයෙන් පොලොන්නරුවේ මහා වන සංහාරයක්.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් මේ දිනවල වාර්තා කරන බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය වෙනදාට වඩා ඉහළ ගොස් ඇති බවත් ජංගම දුරකථනවල යෙදවුම් හා උෂ්ණත්ව මානවලින් පරික්ෂා කිරීමේ දී ඊයේ දිනයේ පමණක් සෙල්සියස් අංශක 39 වාර්තා කර ඇත.

සාමාන්‍ය මිනිස් සිරුරේ උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් පරිසරයේ දක්නට ලැබීම හේතුවෙන් දැඩි හිරු රෂ්මියට නිරාවරණය නොවී හැකි පමණ සෙවණ ස්ථානවල පමණක් ගැවසීමට ජනතාවට නිවේදනය කළ ද පවතින ගහ කොළ කපා ඉවත් කිරීම,කෑලෑ ගිණි තැබීම් ඉහළ යාම වැනි ක්‍රියා කාරකම් දිගින් දිගටම සිදු වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

පොලොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය වී ඇති වන වියන සහිත වනාන්තරවල දිනපතාම පාහේ ගිණි තැබීම් වාර්තා වෙයි. කැලෑ එළි පෙහෙළි කිරීම් හා ගිණි තැබීම් නිරන්තරයෙන් වාර්තා වෙයි. ත්‍රිකෝණ මඩු රක්ෂිතයේ ප්‍රේරණ කළාපයේ අක්කර සිය ගණනක් ගිනි තබා විනාශ කර තිබෙන අතර මින්නේරිය ජාතික වනෝද්‍යානය ,හුරුලු රක්ෂිතය, කවුඩුලුවැව රක්ෂිතය මැදිරිගිරිය යුධගනාව ආදී ප්‍රදේශවලද ගිණි ගැනීම් විශාලවශයෙන් වාර්තා විය.
මේ අතර ඇතැම් දේශපාලනඥයන්ගේ ආශිර් වාදයෙන් මාර්ගය දෙපස ගස් කපා දැමීමක් ද වාර්තා වේ.

ප්‍රදේශයේ උණුසුම අධික තත්ත්වයට පත්ව තිබෙද්දී මාර්ග දෙපස ඇති විශාල ගස් කපා දමා එම දැව කපා මැදගම ප්‍රදේශයේ ඇති විදුලි උත්පාදන සමාගමකට විකිණීමේ කූඨ ව්‍යාපෘතියක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිපුර ප්‍රදේශයෙන් ආරම්භ කර ඇතැයි ජනතාව චෝදනා කරති.

සිරිපුර නගරයේ මාර්ගය දෙපස වසර සිය ගණනක් පැරණි විශාල මාරා ගස් හා අනෙකුත් ගස් කපා ඉවත් කර දමමින් සිටින බවත් මේවා හොර රහසේ රාත්‍රි කාලයේ සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති . මේ වන විට අනාරක්ෂිත යැයි නම් කරන ලද දැවැන්ත ගස් හා අතු කපා ඒවා දැව හා දර ලෙස විකිණීමේ කූඨ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙසේ කපා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ මීට පෙර සිරිපුර ප්‍රදේශයේ ඇළ වේලි දෙපස පිහිටි මයිල ගස් අනවසරයෙන් හොර රහසේ කපා මැදගම පිහිටි විදුලිය උත්පාදන සමාගමට දර ලෙස ලබා දී චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගත වූ පුද්ගලයෙකු බව ද ජනතාව පවසති. සිරිපුර ප්‍රදේශයේ මෙම දැවැන්ත ගස් කපා දෑමීමේ ව්‍යාපෘතිය පි‍ටුපස ප්‍රදේශයේ දේශපාලනඥයෙකු සිටින බවද ඔවුහු චෝදනා කරති.

බණ්ඩාර මුදියන්සේ
පොලොන්නරුවේ සිට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *