ගැස්ට්‍රයිටීස් සුවකර ගන්න නිවසේදීම කරගත හැකි බෙහෙත් මෙන්න

ලීනා ආර්. කෝන්ගහවත්ත

සමාජය තුළ අපිට නිතර අසන්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙසට ගැස්ට්‍රයිටීස් රෝගය අපිට හදුන්වා දෙන්නට පුළුවන්. මේ ලිපිය කියවන ඔබත් ගැස්ට්‍රයිටීස් නිසා පීඩාවට පත් වූ අයෙක් වෙන්නට පුළුවන්. ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ඔබ වෙනුවෙන්මයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. ගැස්ට්‍රයිටීස් රෝගය හැදෙන්නේ කොහොමද, එහි රෝග ලක්ෂණ මොනවාද, ගැස්ට්‍රයිටීස් සුව කරගන්නේ කොහොමද, ගැස්ට්‍රයිටීස් තත්ත්වයෙන් පසුවන්නෙකුට කන්න හොඳ කෑම මොනවාද , කන්න හොඳ නැති කෑම මොනවාද , මේ සියල්ල ගැන ඔබ දැනුවත් නම් මේ රෝගය පහසුවෙන්ම පාලනයට වගේම ඉන් ඇතිවන සංකූලතා වළක්වා ගන්නත් ඔබට හැකියාව ලැබෙන බව නිසැකයි. ගැස්ට්‍රයිටිස් කියන්නේ කොපමණ බහුල තත්ත්වයක් වුණත් ඒ හා බැඳුණු බොහෝමයක් වැරදි සංකල්ප අප අතර තිබෙනවා. මෙම ගැටලුවට පිළිතුරක් ලබාගන්න අද අපි හමුවුණා ලීනා ආර්. කෝන්ගහවත්ත වෛද්‍යතුමියව. මේ ගැස්ට්‍රයිටිස්රෝගය පිළිබඳ ඇය අප සමග කළ සාකච්ඡාවකි.

ගැස්ට්‍රයිටිස් රෝගය කියන්නේ කුමක්ද

අපි ගැස්ට්‍රයිටිස් රෝගය රෝගය ආයුර්වේදයේදී අම්ල පිත්තය නමින් හඳුන්වනවා. ආමාශ බිත්තිය අවට සිදුවන කෙටි කාලීන හෝ දිගු කාලීන ප්‍රදාහ තත්ත්වයක් විදියටත් අපිට ගැස්ට්‍රයිටිස් රෝගය හඳුන්වන්නට පුළුවන්. මේ මගින් ආමාශය බිත්තියයේ තුවාල වීමක් සිදුවෙනවා. ඒ වගේම ඛාදනය වගේ තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිත රෝග ලක්ෂණ මොනවාද

රෝග ලක්ෂණ කිහිපයක් අපට දැක ගන්නට පුලුවන්. මූලිකවම ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට ආහාර දිරවීමේ අඩුකමක් ඇතිවෙනවා. ඒ කියන්නේ ආහාර මද වශයෙන් දිරවීමක් සිදුවෙනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට ඇඹුල් රසයට උගුරට ඒම. මේ ආකාරයෙන් බහුතරයක් පුද්ගලයන්ට ඇඹුල් රසයට උගුරට පැමිණීමත් සමඟ ශරීරය අප්‍රාණික ගතියක් ඇතිවන්නට පුළුවන්. අධික පිපාසය දැනීම මෙහි තවත් රෝග ලක්ෂණයක් විදියට දැක ගන්නට පුළුවනි. ඒ වගේම අධික ලෙස දාඩිය දැමීම, බඩ පිපුම, ඔක්කාරයට පැමිණීම, උදර වේදනාව, අජීරණය තත්ත්ව දැක්වීමට හැකියි. මීට අමතරව ආහාර වේල් දෙකක් අතර කාලයේදී උදරය හා පපුව ප්‍රදේශය අතර දැවිල්ලක් හට ගැනීම, කුසගින්න නොදැනීම හෝ මද වශයෙන් දැනීම, ඇතැම් අවස්ථාවල ගැස්ට්‍රයිටිස් රෝගය අධික වූ විට සාමාන්‍ය පැහැයෙන් පරිබාහිර පැහැයකින් යුතුව මල පහ පිටවීමත් මෙම රෝගයේ රෝග ලක්ෂණ වනවා.

ගැස්ට්‍රයිටිස් රෝගය හට ගැනීමට හේතු

වර්තමාන තත්ත්වයන් සමඟ ගත්තොත් මෙම රෝගයට 80%ක් පමණ හේතු සාධකය වන්නේ මානසික තත්ත්වයයි. රැකියා ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න බහුතරයක් ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට බලපෑම් කරනවා. මීට අමතරව ආයුර්වේදානුකූලව අපි කියනවා විරුද්ධ ආහාර ලබා ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් ඇති වන්නට පුළුවන් බව. උදාහරණයක් විදිහට කිරි සමග කුකුල් මස ආහාරයට ගැනීම, මාළු හා මස් දෙකම එකවර ආහාරයට ගැනීම, කිරි සහ බිත්තර ආහාරයට ගැනීම එසේත් නැත්නම් විරුද්ධ ආහාර ලබා ගැනීමත් මෙම රෝගයට එක් හේතුවක් බවට පෙන්වා දෙන්නට පුළුවන්.

තවත් ආකාරයකින් දූශිත ආහාර ආහාරයට ගැනීමත් හේතුවක් විදියට දැක්වීමට හැකියි. මෙහිදී ජලාශ ආශ්‍රිතව, කුණු රැඳෙන ස්ථානවල ඇති එළවළු වර්ග, පලා වර්ග ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ඒවගේම ඇඹුල් ආහාර ආහාරයට ගැනීමෙන්, මත්පැන් පානයෙන්, දුම් පානයෙන් යන පුරුදුවලිනුත් මෙම රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඒත් එක්කම උෂ්ණ ආහාර ලබා ගැනීමෙන්ද මෙම රෝග තත්ත්වය ඇතිවීමට හැකියාව තිබෙනවා. උදාහරණ විදිහට දැල්ලෝ, ඉස්සො, තක්කාලි වැනි ආහාර දක්වන්නට පුළුවන්. තක්කාලි බොහෝ විට ආහාර ලෙස පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් සෑදීමට හේතුවන ප්‍රමාණය වැඩියි.

ගැස්ට්‍රයිටිස් රෝගියෙකු නොකළ යුතු දේවල් මොනවාද

මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම ගැස්ට්‍රයිටිස් රෝගය ඇති කිසිදු පුද්ගලයෙකුට කිරි සහිත ආහාර උදාහරණයක් විදිහට කිරිපිටි, චීස්, බටර්, අයිස්ක්‍රීම් වගේ දේවල් කිසිවක් ආහාරයට ගැනීම නුසුදුසුයි. ඒවගේම කේක් වර්ග අනුභවයත් ගැස්ට්‍රයිටිස් රෝගියෙකු නොකළ යුතු දෑ විදියට හඳුන්වන්න පුළුවන්. කොස්, කඩල අනුභව කිරීමේදී ඒවා අහම්බෙන් හෝ ගැනීමට සිදුවන්නේ නම් ඒවායෙන් ස්වල්ප ප්‍රමාණයක් පමණක් ලබා ගැනීම යෝග්‍ය වනවා. එහිදී එම ආහාර ලබා ගැනීමෙන් පසු පැය කිහිපයක් අඩුම පැය 4 ක් 5ක් ගතවන තෙක් තවත් ආහාරයක් ලබා ගැනීමෙන් වැළකී සිටීම යෝග්‍යයි. එයට හේතුව තමයි එම ආහාර දිරවීමට යන කාලය වැඩිවීම.

ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගියෙකු බිස්කට් ආහාරයට ගැනීම නොකළ යුතුයි. ක්ෂණික ආහාර කිසිවක් මෙහිදී ආහාරයට එක් කර ගැනීම නොකළ යුතුයි. ඔබ පැණි බීම පානය කරන්නෙකු නම් ඔබට ගැස්ට්‍රයිටිස් රෝගය තිබේ නම් එය ඔබගේ රෝගී තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතු වෙනවා. තේ, කෝපි මද වශයෙන් පානය කළද ඒවා විශාල වශයෙන් ලබා ගැනීම රෝගී තත්ත්වය උත්සන්න කිරීමට සමත් වන කරුණක්. තවත් විදියකින් පරිප්පු වැනි ආහාර, අමු පොල්, ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම නොකළ යුතු දේ බවට පත්වෙනවා. මීට අමතරව ප්‍රධානම කාරණාව තමයි මධ්‍යසාර, දුම් වැටි භාවිතයෙන් වැලකී සිටීම.

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද

මෙම ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් අත්බෙහෙත් පොදුවේ භාවිතා කළ හැකි අවස්ථා තිබෙනවා. මෙහිදී මූලිකව අපට මේවා ගෙදර දොරේදීම සකස් කරගත හැකි වීම වාසිදායක වනවා. ප්‍රතිකාර ලෙස මූලිකව අපට සූදුරු තම්බපු වතුර පානයට ගත හැකියි. මීට අමතරව කෝමාරිකාව මදවලට මී පැණි යොදා ආහාරයට ගැනීම, තැඹිලි කුරුම්බා පානයට ගැනීම, උදෑසන හිස් බඩ වතුර වීදුරුවක් පානය කිරීම වැනි දෑ සිදු කළ හැකියි. මීට අමතරව බෙලි කොළ පවනේ වේලා එම කොළ කුඩුකර තම්බා පානයට ගැනීමට හැකිනම් එය යෝග්‍යම ප්‍රතිකාරයක්. මීට අමතරව අනුගමනය කළ යුතුම වැදගත්ම කරුණ වන්නේ ඔබ කුමන වාතාවරණයක සිටියද ඔබගේ මනස නිරවුල් මානසිකත්වයක තබා ගැනීමයි. මීට අමතරව මෙම රෝග තත්ත්වය සුව කර ගැනීම සඳහා නියමිත වේලාවට ආහාර ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුයි මෙවැනි ක්‍රියා අනුගමනය කළ හැකිනම් ගැස්ට්‍රයිටිස් රෝගය සුව කර ගැනීමට ඔබට හැකියාව උදා වනවා.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!