ගනේමුල්ලේ සංජීව ඝාතනයට උදව් කළ නීතීඥවරියගේ ගිණුම්වල කෝටි ගණන් මුදල්

පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන් මගින් අනාවරණය කරගත් කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට අද (05) දැනුම් දුන්නා.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදීය .

ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය විල්ප්‍රඩ් දිසානායක නැමැත්තෙකුගේ නමින් තිබුණද, එය සැකකාර නීතිඥවරියට අයත් එකක් බව විමර්ශනවලදී තහවුරු වී ඇති බව අධිකරණයට වාර්ථා කරනා ලදි .

එම පුද්ගලයාගෙන් ලබාගත් ප්‍රකාශයක් මගීන් , එම වාහනය තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය ඇයගේ පෞද්ගලික මුදල් යොදවා මිලදී ගත් එකක් බව තහවුරුව ඇත .

මෙම මිල අධික වාහනය මිලදී ගැනීමටත්, ඇයගේ බැංකු ගිණුම්වල සංසරණය වූ විශාල මුදල් ප්‍රමාණය ඈය විසින් උපයා ගත් ආකාරය පිළිබඳවත් සොයාගැනීම සඳහා මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වනු ලැබීය .

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ මෙම සැකකාරිය බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය .

ඒ අනුව ඇය විසින් නීතිඥවරුන් පළඳින ටයි පටි දෙකක්, නීතිඥ වාහන සඳහා භාවිතා කරන නිල ලාංඡනය සහිත ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ, ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප වෙඩික්කරු වෙත ලබා දී ඇති බවට අනාවරණය වී ඇත .