ගංවතුර ආධාරවලින් ‘ගම්පහ හිටපු නගරාධිපතිත්’ ගේමක් ගහලා ද ?

ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා රජයේ ප්‍රතිපාදනවලින් සකස් කර තිබූ ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදා දීමේදී රාජ්‍ය දේපළ අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වනවා.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සූදානම් කළ කෑම සහ ගම්පහ නගර සභාව මිලදී ගෙන තිබූ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා මැදිහත්වී එය ඔහුගේ පෞද්ගලික වියදමින් සිදු කළ සමාජ සත්කාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇතැයි ද නගර සභාවේ හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණිලි කර ඇති බවයි එම වාර්තා මගින් කියවුණේ.

අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ කෑම සහ වතුර බෝතල් ට්‍රැක්ටරයකින් ගෙන යමින් තිබියදී හිටපු නගරාධිපතිවරයා එම ට්‍රැක්ටරයට ගොඩ වී රියැදුරු පසුපසට යවා ඔහු රථය පදවා ගෙන ගොස් ජනතාවට කෑම බෙදා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

රජයේ ප්‍රතිපාදනවලින් සකස් කළ කෑම සහ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා බලහත්කාරයෙන් මැදිහත් වී ඇතැයි ද ඔහු නගර සභාවේ ට්‍රැක්ටරය බලහත්කාරයෙන් පදවා ගෙන යමින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇතැයි ද එම විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා කළ පැමිණිල්ලේ දැක්වෙනවා.

මේ පිළිබදව මාධ්‍ය කළ විමසුමකදී බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාගෙන් පුවත්පතක් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ ආහාර සහ වතුර බෝතල් සඳහා තමන්ගේ පෞද්ගලික ධනය ද වැය කළ බවයි.

තමා ගමන් ගත් වාහනයට වතුර යෑම නිසා එය මග නතර වූ බව ද එම නිසා තමා නගර සභාවේ ට්‍රැක්ටර් රථයට ගොඩ වූ බව ද එරංග සේනානායක මහතා සඳහන් කර තිබෙනවා.

ගංවතුරෙන් අවතැන් ගම්පහ ජනතාවට සහන සැලසීමට තමා හැමවිටම කටයුතු කළ බව ද එය ඉවසාගත නොහැකි වූ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු තමන්ට එරෙහිව බොරු පැමිණිලි කර ඇතැයි ද හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!