කෙහෙළියට ගෙනා විශ්වාසභංගෙට සජිත් පස්ස ගහයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පාර්ශ්වය උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට පසුබටවීම හේතුවෙන් එය දින නියමයක් නොමැති තැනට පත්ව ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය ගෙනෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාරදීම සිදුකෙරුණේ පසුගිය (ජූලි 21) වනදා වන අතර එහිදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවේ පවසා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් තබා ඇති බවය.
ඔවුන් ගෙනා විශ්වාසභංග යෝජනාවේ කාලීන බව සැළකිල්ලට ගනිමින් ආණ්ඩුව එය කඩිනමින් විවාදයට ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනක දීම සඳහන් කර තිබිණ.

නමුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (08) එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එහිදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් මේ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත.

එහිදී සභානායකවරයා දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා අදාළ අමාත්‍යවරයා ද එකඟතාව පළකර ඇති බවත්ය.

එහිදී සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාව එළඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට තරම් හදිසියක් නොමැති බවය.

ඊට පසුව එළඹෙන සතියේ ක්‍රිකට් ආයතනයේ ගැටලුව විවාදයට ගැනීමට ඇති බැවින් එය වැදගත් වන නිසා එන සතියේ ද විශ්වාසභංග යෝජනාව විවාදයට ගත නොහැකි බව විපක්ෂය පවසා ඇත.

එහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කතානායකවරයාද විපක්ෂ නායක සහ ඔහුගේ නියෝජිතයන් වෙතින් ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් මාසයේ ආරම්භක සතියේ දිනයක් හෝ ලබාදී එම කටයුත්ත අවසන් කිරීමට සහය දෙන ලෙසය.

නමුත් ඒ සඳහා ද විපක්ෂ නායක ප්‍රමුඛ ඔහුගේ නියෝජිතයන් එකඟතාවක් දක්වා නැති අතර ඔවුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ, “අපිට හදිසියක් නෑ ” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *