මුල්ලේරියාවේ ප්‍රදීපාගේ හිස අත් පා නැති සිරුර කැළනි ගං ඉවුරෙන් හමුවෙයි

ඊයේ පස්වරුවේ සියඹලාපේ ප්‍රදේශයේ කැළනි ගං ඉවුරේ තිබී සොයාගත් හිස සහ අත් පා රහිත මළ සිරුර මුල්ලේරියාව ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා අතුරුදහන්වූ ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවගේ බව තහවුරුව ඇතිබව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනුයේ එම මළ සිරුර ඇගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි.

මෙම කාන්තාව පසුගිය 27 වන දා සිට අතුරු දහන්ව ඇති බව ඇගේ දියණිය විසින් පොලීසියට කරනා ලද පැමිණිල්ලක් අනුව මුල්ලේරියාව පොලිසිය විසින් මූලික විමර්ශණ කටයුතු ආරම්භ කරනා ලදි .

ඒ අනුව සිදුකරනා ලද සී.සී.ටී.වී දර්ශණ පිරික්සීමේදි මෙම කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පිටත්ව යන ආකාරය තහවුරු කර ගැනීමට පොලිසියට හැකිව තිබේ . ත්‍රි රෝද රියෙන් පැමිණි කාන්තාව කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපන ශාලවක් අසලදී එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.

එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගැනිමෙන් අනතුරුව එම දෙපොළ KI 3030 දරන අළු පැහැති මෝටර් රථයෙන් එම ස්ථානයෙන් පිටව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත. එතැන් සිට අදාළ කාන්තව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.

මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් බව තහවුරු කර ගැනීමට හැකිව ඇත.

ඒ අනුව සිදුකළ සොයාබැලීම් වලදී එම පුද්ගලයාට අයත් සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි නිවසක කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයා ගන්නට මුල්ලේරියාව පොලිසියට හැකිව ඇත .

අනතුරුව සපුගස්කන්ද පොලීසියේද සහය ඇතිව සිදුකළ විමර්ශනයකදී එම නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවත්, ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කරයි. සැකකාර සුධීර වසන්ත අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව පොලිසිය සඳහන් කරයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *