කාන්තාවන් 20,000 ක් මේ වසර තුළ හිංසනයට ලක්වෙලා

ශ්‍රී ලංකාවේ මේ වසරේ විවිධ හිංසා සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කාන්තාවන් සංඛ්‍යාව විසි දහසකට අධික බවත්, සැළකිවයුතු සංඛ්‍යාවක් ගැබිනි සමයේදී පවා ප්‍රචණ්ඩත්වයට ඉලක්ක වන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) විසඳීමේ බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගතය සාකච්ඡා කිරීමේ වැඩමුළුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය නෙතාංජලී මාපිටිගම මේ බව පැවසීය .

මෙම වැඩසටහන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි
විශේෂඥ වෛද්‍ය ආචාර්ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ සහ ළමා, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනි තලතා අතුකෝරලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරියන් ප්‍රකාශ කළේ නිවස තුළ සිදුවන කාන්තා හිංසනයන් මෙන්ම රැකියා ස්ථානයේ කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා මෙම සැලසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම බහුආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ 13ක විෂයමාලාවලට අදාළව ක්ෂේත්‍ර 18ක් කේන්ද්‍ර කරගනිමින් සකස් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!