කරඳගොල්ල නායයෑමෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අවදානමේ

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑම තවදුරටත් සක්‍රීය වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට දැඩි අවදානමක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පැවසුවා.

2019 වර්ෂයේ සිට මෙම ප්‍රදේශය නායයෑම ආරම්භ වී තිබෙනවා. එම වසරේ සිට මේ දක්වා විටින් ටිට නායයෑම් වාර්තා වන බව ඔහු පැවසුවා.

එම ප්‍රදේශයට මේ දිනවල වර්ෂාව නොමැති වියළි කාළගුණයක් පවතින නමුත් නායයාම සක්‍රිය වෙමින් පවතින ස්ථානයේ විශාල බොරදිය ජල පහරක් ගලායමින් පවතිනවා. දැනටමත් ගස්කොළන් රැසක් බිමට කඩා වැටී ඇති බවත්, එම ගම්මානයේ නිවාස කීපයක් ද කැඩී හානි වී ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

උදයකුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ පවුල් 10කට අයත් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි.

මෙම ප්‍රදේශයේ විශාල නායයෑමක් සිදු වුවහොත් ඇල්ල – වැල්ලවාය මාර්ගය කරදගොල්ල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වෙනවා. එමගින් ජන ජීවිතයට සහ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!