එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිගෙන් ඇමති අලස් කළ ඉල්ලිම

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි (Khaled Al Ameri) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (12) පැවැත්වුණා.

වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව පැවති තත්ත්වයට වඩා අද පවතින තත්ත්වය ඉතා යහපත් බවත් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අමාත්‍යවරයා වෙත පවසා තිබෙනවා.

එමෙන්ම එරට රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා එම අවස්ථාවේ දී තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට පිළිතුරු දක්වමින් තානාපතිවරයා පවසා ඇත්තේ සිය රට සමග සාකච්ඡා කර ඊට හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සලකා බලන බවයි.

දෙරටේ පොලිසි අතර තොරතුරු හුවමාරු කර ගැනීමටත් සහ ශ්‍රී ලංකා පොලිසියේ පුහුණුවීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත්, පොලිස් විද්‍යාල සඳහා නව වැඩසටහන් හඳුන්වාදීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර කතාබහක් ඇති වූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.