උතුරේ දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් පදික මාරු වර්ණ සංඥා පද්ධතියක්

මඩකලපුව නගරයේ නොච්චිමුණෙයි හි දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් ස්ථාපනය කරන ලද විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මෙම ස්ථානය විශේෂ අවශ්‍යතා සහිත සහ දෘශ්‍යාබාධිත සිසුන් අධ්‍යාපනය ලබන පාසලක්, නේවාසිකාගාර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ඇතුළු විශාල පිරිසක් ගැවසෙන, ජනාකීර්ණ අවදානම් සහිත ස්ථානයක් බැවින් විශේෂ ආරක්ෂාවක් සහිත පදික මාරු වර්ණ සංඥා පද්ධතියක අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පැවැතිණි.
ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ග්‍රාමීය මාර්ග පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ ඉල්ලීම පරිදි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 110ක වියදමින් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් මෙම විශේෂ ආරක්ෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය ස්ථාපනය කර තිබේ.

උතුරු නැගෙනහිර පළාත් තුළ ප්‍රථම වරට ස්ථාපිත කර ඇති මෙම විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතියට නවීන පහසුකම් කිහිපයක්ම ඇතුළත් කර තිබේ. විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මාර්ගය හරහා මාරු වීමේදී කෙටි කාලයක් තුළ වාහන නතර කිරීම සඳහා සංඥා පහන් දැල්වෙන ආකාරයටත්, දෘශ්‍යාබාධිත පිරිස් වෙනුවෙන් විශේෂිත ලෙස සැලසුම් කරන ලද නාද සංඥා පද්ධතියක්ද මීට ඇතුළත්. මීට අමතරව සුදුසැරයටි මගින් හඳුනාගත හැකි පරිදි පදික වේදිකාව විශේෂිත සංඥා සහිත බිම් ඇතුරුම් ගල් මඟින් නිර්මාණය කිරීමට ද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු නැගෙනහිර පළාතේ දෘශ්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන්ට ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීම සඳහා අති නවීන තාක්ෂණයක් සහිතව මෙවැනි විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතියක් හඳුන්වා දීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වනවා.

ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා ලෙස මින් ඉදිරියට සුදු සැරයටිය සහිත පුද්ගලයකු දුටු විට අනිවාර්යයෙන්ම බස්රථ නතර කර ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දීමට ප්‍රමුඛතාව ලබා දීම අනිවාර්ය කර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මා ලංගම සභාපතිවරයාට උපදෙස් ලබා දෙනවා.

මෙතැන් පටන් කිසිදු බියකින් හා සැකයකින් තොරව ආරක්ෂිතව පාර මාරු වීම සඳහා මෙම විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතිය ස්ථාපනය කළ අප අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සියලුම නිලධාරීන්ට අප සියලු දෙනාගේම ගෞරවය හිමිවිය යුතුයි. එමෙන්ම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙම සත්කාරයට දායක වන ස්වාමි විවේකානන්ද පූජකතුමන් ප්‍රමුඛ මෙම ආයතනය පවත්වාගෙන යන්නට දායක වන සියලු සත්පුරුෂයන්ට අපේ ගෞරවය හිමිවනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *