ඉම්තියාස් බාකීර් මාකාර්ගේ ස්වැයං ලිඛිත චරිතාපදානය ” මගේ කථාව” නිකුත්වේ.

ශ්‍රී ලංකාව මේ වන විට බංකොළොත් රාජ්‍යක් බවට පත්ව ඇති බවත්, දකුණු ආසියාවේ අන් සියළු රටවල් ශ්‍රී ලංකාව පසුකර ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පැවසීය. ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවති සිය ස්වැයං ලිඛිත චරිතාපදානය එළිදැක්වීමේ උත්සවය අමතමිනි.

පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි, ප්‍රවීණ මාධ්‍යවේදී ඒරානන්ද හෙට්ටිආරච්චි සහ ආචාර්ය රංග කලන්සූරිය මෙහි විශේෂ දෙසුම් පැවැත්වූහ.

ඉම්තියාස් බාකීර් මාකාර් මීට පෙර මගේ හද ගැස්ම, මා අකමැතිව සිටි ජේ.ආර්, දේශප්‍රේමයේ කැඩපත, හිතුමත (පරිවර්තන), ඉදයම් පේසුහිරදු (දමිළ), නඩුවදු නළම් (දමිළ), Beyond Common Naratives (පරිවර්තන), සිතමු යනුවෙන් කෘති අටක් ලියා පලකර ඇත. ඉම්තියාස් බාකීර් මාකර් කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, මැති ඇමැතිවරුන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!