ඇතැම් ස්ථානවල තරමක් තද වැසි

අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි පෙන්වා දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!