ඇතැම් ඖෂධවල වීදුරු කැබලි සහ මැරුණු කැරපොත්තන්

මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

මෙයට අමතරව දෘශ්‍ය අංශු පැවැතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ සහ විවිධ ප්‍රතිපල රැසක් ද එම ඖෂධවලට අදාළව හඳුනාගෙන තිබූ බව වාර්තාවේ දැක්වෙනවා.

මේ හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත් කර තිබූ බව ද ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙසේ කැරපොත්තන් සහ වීදුරු කැබලි හමුවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලය.

රජයේ රෝහල් සඳහා පසුගිය 2022 වර්ෂයේදී නිකුත් කළ වෛද්‍ය සැපයීම්වලින් රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කර තිබූ බවත් තවත් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඖෂධ භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ බවත් එහි සඳහන් වනවා.