අම්දි ෆස්ලිම් ගේ වකුගඩුවට සිදුවුණේ මොනවාද

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අම්දි ෆස්ලිම් නම් තෙහැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න පැවසූවාය. ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සාක්ෂි ලබාදෙමින්.‍

දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලීසිය විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බවයි.

තම අංශය වෙත එවන ලද එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්ව සුරක්ෂිතව මේ වනවිට තබා ඇති බවද සාක්ෂි ලබාදෙමින් ඇය වැඩිදුරටත් පැවසුවා.

මීට පෙර සාක්ෂි ලබාදෙමින් එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ අධිකරණය හමුවේ පවසා තිබුණේ රෝහලට ඇතුළත් කරන ලද එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බවය.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සියයට 09ක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91ක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සිය සාක්ෂිය මගින් වැඩිදුරටත් පවසා තිබුනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *