දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිහගොඩ පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරන ලද දැනුම්දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මෙම මෝටර් රථය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලීසිය වෙත භාරදී ඇත.
එම මෝටර් රථය තුළ තිබූ ටිකට්පතින් එය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළුවී මත්තල දෙසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.
එහි ලියාපදිංචි අංකය අනුව සිදුකළ මූලික විමර්ශනවලදී එම ලියාපදිංචි අංකයටම රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෝටර් රථයක් තිබෙන බවත් අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කළේය.
එම මෝටර් රථයේ සහ මෙම මෝටර්රථයේ ලියාපදිංචි අංකයන් සමාන වුවත්, එන්ජින් අංකය වෙනස් බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
මෙම මෝටර් රථය මෙරුන් පැහැයෙන් යුක්ත වන අතර, රත්නපුර මෝටර් රථය සුදු පැහැයෙන් යුක්ත බවට තොරතුරු ලැබී තිබේ.
අතහැර දමාතිබූ මෝටර් රථය තිහගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එහි දොරගුළු විවෘත කර සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ දිනපොතක් සහ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයකින් නමක් සඳහන් සහතික පත්‍රයක් තිබූ බවත් පොලීසිය පැවසීය.
එම දිනපොත තුළ තිබී හැඳුනුම්පතක ඡායා පිටපතක් අනුව සිදුකළ විමර්ශනවලදී පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමක් සහ ලිපිනයක් සඳහන්ව තිබූ බවත්, ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පොතුහැර පොලීසියට එම ලිපිනය සම්බන්ධයෙන් දැනුම්දී ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා අද (25) පෙරවරුවේ නිවසින් පිටව ගොස් තිබූ බවය.
ඒ අනුව මෙම මෝටර් රථය පිළිබඳ සහ රත්නපුර මෝටර් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර නිත්‍ය මෝටර් රථය කවරෙක්ද යන්න සොයාගැනීමට නියමිතය.