අධිකරණයට අපහාස කළ බවට මෛත්‍රීට චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සරත්චන්ද්‍ර මහතා එම පෙත්සම ගොනු කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිය දී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (30) කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළ බව වාර්තා වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!