අගමැති ලෙස කිලිනොච්චියේ ‘2017 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතිය’ ජනපති ලෙස විවෘත කළ හැටි

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා.

2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසනවා.

අද විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත උපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇති.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2017 වසරේ යහපාලන රජය යටතේ මම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.

කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙම ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා ඊට පාර්ලිමේන්තුවේ කිසිවෙකු එරෙහි නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවා.

” 2017 වසරේ ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කටයුතු අවසන් කිරීමට නොහැකි වුණා. නමුත් අද එය සාර්ථකව නිමා කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා.

අද කිලිනොච්චි නගරයේ විශාල දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. මාන්කුලම ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කරමින් මේ ප්‍රදේශ දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම මෙම ප්‍රදේශයේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවස්ථාව ලැබී තිබෙන අතර කිලිනොච්චියේ ද එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම ප්‍රදේශවල තිබෙන ඉඩම් ගැටළු මෙන්ම අතුරුදන් වු පුද්ගලයන්ගේ ගැටලුව පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා.

අද ඉදිකර තිබෙන කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මෙරට කාන්තාවන් වෙනුවෙන් කළ විශිෂ්ට කාර්යයක් ලෙස හඳුන්වාදිය හැකියි. කාන්තාවන් වෙනුවෙන් විශේෂ පියවර රැසක් අප මේ වන විට ගෙන තිබෙනවා. “