මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඍජුවම කාන්තා දායකත්වය ලබාදිය හැකි මංපෙත් විවර කිරීම නව රජයේ අරමුණයි

 – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – 

මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඍජුවම කාන්තා දායකත්වය ලබාදිය හැකි මංපෙත් විවර කිරීම නව රජයේ අරමුණ බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 

කාන්තාවන් සවිබල ගන්වා, ඔවුන්ගේ හැකියාව, දක්ෂතාවය අනුව රටේ ආර්ථිකයට සුවිසල් දායකත්වයක් ලබාගත හැකි බව අමාත්‍යවරයා කියා සිටියේ මාර්තු 08 වෙනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, වැඩ කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින්, කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනට සහභාගී වෙමිනි. සියලුම කලාප නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාල මාර්ගගතව සම්බන්ධ කරගනිමින් එම වැඩසටහන පැවැත්විණි. 

අතීතයේ සිට මේ දක්වා කාන්තාවන් සහ දරුවන් පිළිබඳ විවිධ සැමරුම් පැවතුණද එමගින් ඔවුන්ගේ ජීවිත ප්‍රමාණාත්මකව වෙනසකට ලක්ව නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එබැවින් මෙවර “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්” ජාතික තේමාවෙන් කාන්තා දින උත්සවය සමරන්නේ ශ්‍රී ලංකාව නව ගමන් මඟකට අවතීර්ණ වී ඇති මොහොතක බව අනිල් ජයන්ත මහතා පැවසීය. 

“රාජ්‍ය සේවකයින් විදිහට ඔබ විවිධ ආණ්ඩු යටතේ රාජකාරී කටයුතු සිදුකර තිබෙන බව අපි දන්නවා. ඒ නිසා මේ අලුත් ආණ්ඩුවක තවත් එක් සටන් පාඨයක් පමණක් බව ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් එය එසේ නොවන බව මම මතක් කළ යුතුයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ විශාල සමාජ පරිවර්තනයක් සමඟයි. එසේ බලය ලබාගත් පිරිසක් ලෙස අපට ජනතා අපේක්ෂාව ඉටු කිරීමේ දැඩි වගකීමක් පැවරී තිබෙනවා. 

අපි දන්නවා සංඛ්‍යා දත්ත අනුව පෙනීයන්නේ කාන්තාවන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දායකවන්නේ පුරුෂයන්ට සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් බව. නමුත් ඇය ඒ දායකත්වය දක්වන්නේ කාන්තාවක, ගෘහනියක, මවක ලෙස තමන්ගේ වගකීම ඉටුකරමින් කියන කාරණාව අපි සිහිපත් කළ යුතුයි. ඒ නිසා එම දායකත්වය සුවිශේෂී කියලයි අපි හිතන්නේ” යැයි අමාත්‍යවරයා පැවසීය. 

කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය අංශ කිහිපයකට සීමා වී තිබූ බැවින් විශාල වපසරියක වගකීම් දැරිය හැකි කාන්තාවන්ට නිසි අවස්ථාව නොලැබීමේ තත්ත්වයක් දක්නට ඇත. එවැනි බාධාවන් ඉවත් කිරීම රජයේ අපේක්ෂාව බවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

“අපි අතීතයට ගියොත් එනම් අපි ජිවත් වුණු ගල් යුගය, දඩයම් යුගය වැනි කාලයකට ගියොත් අපිට ආර්ථිකය තේරුම් ගන්න ලේසියි. අපි දඩයමක් එළා ගන්නවා. ඒ දඩයමට සියලුම දෙනා සම්බන්ධ වෙනවා. උපකරණ පාවිච්චි කරනවා. විශාල පිරිසක් එක්වෙනවා. නමුත් දඩයම ආහාරයක් කරන පරිවර්තනය කරගන්න ඕනෑ ප්‍රධාන කාර්ය කරන්නේ කාන්තාවයි. දඩයම ආහාරයක් ලෙස පිළියෙළ කිරීම, කල්තබා ගැනීම, කලමනාකරණය. මේ සියල්ල කරන්නේ ඇයයි. මේ සියල්ල නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවා. නිසි විශ්ලේෂණයක් කළහොත් අපි හැම කෙනෙක්ම නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධයි. හැබැයි භෞතිකව ගත්තොත් දඩයම එළාගෙන ආවේ එක්කෙනයි කියලා දඩයක්කරුවා විතරයි කියලා කිව්වොත් ඒක වැරදියි. අතීතයේ එහෙම බෙදගත්තද? නැහැනේ. දඩයම මමයි එළාගත්තේ, ඒ නිසා මම විතරයි කන්න ඕනේ කියල කිව්වේ නැහැ. එහෙම කිව්වොත් වැරදියි. අන්න නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේ ඒ හැමකෙනෙක්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව සහයෝගයෙන් වැඩ කළා. ඒ ප්‍රාථමික නිෂ්පාදන ක්‍රියාවලිය. 

නමුත් අද සියල්ල සංකීර්ණ වෙලා තියෙන්නේ. ආර්ථිකය ඇතුළේ එක භාණ්ඩයක් වෙනුවට ලක්ෂ සංඛ්‍යත ප්‍රමාණයක් භාණ්ඩ හැදෙනවා. සේවාවන් නිර්මාණය වෙනවා. එවැනි වටපිටාවක අර සහයෝගය වැදගත් වෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හදාගත් සම්බන්ධතාවන් ගැලවිලා ගිහිල්ලා අපි වෙන වෙන විදිහට නිෂ්පාදනයට සම්බන්ධ වෙනවා. වෙන වෙන විදිහට නීති රීති සකස් කරගන්නවා. හොඳ නරක සාධාරණ අසාධාරණකම් ගොඩාක් තියෙනවා. දැන් අපි උත්සහ කරනවා, ඒ නීති රීති ඇතුළේ සාධාරණ අසාධාරණ ඇතුළේ, අපි විතරක් තේරුම් ගත්ත ඒ කාරණා තුළ, මේකට උත්තර හොයාගන්න. ඒ උත්තර හොයාගන්න ගිහාම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය බිඳෙනවා” යැයි අමාත්‍යවරයා පැවසීය. 

මෙවර අයවැය මගින් රජය සුවිශේෂී වැටුප් වැඩි කිරීමක් සිදුකළ බව සිහිපත් කරමින් ඔහු කියාසිටියේ “වසර දෙකක් වැනි කාලයක් තුළ පැවති ආර්ථික කාරණා හේතුවෙන් වැටුපෙහි මූර්ථ අගය 40%කින් පහළ ගොස් තිබුණා. මෙවර වැටුප් වැඩිවීම සිදු කරන්නේ ඒ සහනය ලබාදීම සදහායි. මේ සියල්ල සිදුවන්නේ බිඳ වැටුණ ආර්ථිකයක් තුළ බව අප මතක තබා ගත යුතුයි, මැති ඇමතිවරුන් වරප්‍රසාද භුක්ති නොවිඳින වටපිටාවක බව මතක තබා ගත යුතුයි. නමුත් සමාජයේ යම් යම් කොටස් මේ වැටුප් වැඩිවීම පෞද්ගලිකව සිය වැටුපට ඇති වූ විෂමතාව හෝ රැකියාවේ අභිමානයට ඇති වූ ගැටලුවක් ලෙස හුවා දක්වන්නට උත්සහ දරන බවක් දකින්නට ලැබෙනවා. ඒත් කිසිවෙකු මූලික වැටුප් වැඩිවීම ගැන සාකච්ඡාවක් ඇති කරගන්නා බවක් නම් දක්නට ලැබෙන්නේ නෑ.” 

“සියයට 60 – 80 අතර සෑම කෙනෙකුගේම වැටුප් වැඩිවෙලා තියෙනවා. කවුරුවත් සූදානම් නැහැ සමස්තය දිහා බලමින් මේ ප්‍රශ්නය තේරුම් ගන්න. අපි හිතනවා මගේ කොටස සියයට 100ම වෙන්න ඕනේ කියලා. අනිත් ඒවා මට අදාළ නැහැ කියලා. සමස්ත ආර්ථිකය දියුණු කරගන්න හිතන්නේ නැතුව මගේ කොටස විතරක් හිතුවොත් කිසියම් තැනක හිර වෙනවා. වැටෙනවා. ඉදිරියට යන්න බැහැ. 

ගැටුම්කාරී තත්ත්වයකට විසඳුම් හොයන්න යනකොට අපි උත්සහ කරනවා කේවල් කිරීම්වලට යන්න. නමුත් ලෝකේ දැන් ටික ටික වෙනස් වෙනවා. ලෝකේ කියන්නේ සහයෝගය, සම්බන්ධතාවය, නම්‍යශීලිත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, අවස්ථා නිර්මාණ කිරීම, එකට වැඩ කිරීම සඳහා සාකච්ඡා කරමින් යන්න ඕනේ තැනක්. ලෝකය තියෙන්නේ ඒකට අනුගත වෙමින්. 

“අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නට ඔයගොල්ලන්ට තියෙන හැකියාවන්, දක්ෂතාවන් අනුව විශාල වටිනාකමක්‌ එකතු කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක අපි ඉන්නවා. ඉදිරියේදීත් අමාත්‍යාංශය පැත්තෙන්, ඒ වගේම අපේ ආණ්ඩුවේ අනෙක් අමාත්‍යාංශ එක්කත් මැදිහත් වෙලා එක ගමනක යමු. අපේ හීනය, බලාපොරොත්තුව ලොකු දේවල් ළං කරගන්න. අපේ ජීවිත කාලයේදී අපට ඒ ඔක්කොම ළං කරගන්න බැරිවෙයි, හැබැයි දැඩිව මම කියනවා, මේ අවුරුද්ද, දෙක, තුන, හතර, පහ යනකොට මේ පරිවර්තනීය වෙනස ඕගොල්ලන්ට දැනේවි කියලා” යැයි අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 

මෙම අවස්ථාවට සහභාගී වෙමින් කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා ද, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මහතා ද, කාන්තා හා ළමා කටයුතු අංශ කම්කරු කොමසාරිස් එන්.ආර්. රණවක මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.