ඊළඟ වසර දහය ඇතුළත ලංකාව වැඩබිමක් බවට පත්කරනවා -නාමල් දඹුල්ලේදී කියයි

දශක තුනකට ආසන්න කාලයක් මේ රට තුළ පැවැති යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමේ දී සටන් කළේ ත්‍රස්තවාදීන් සමග මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදය මේ රටින් අවසන් කරන්න හැකියාව ලැබුණු බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටට ද්‍රෝහී වුණු කණ්ඩායමක් නොවන බවත් සැමදාම මේ රටට ආදරය කරන දේශපාලන බලවේගයක් බවත් පෙන්වා දෙනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල නගරයේදී පෙරේදා (15) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ආසන ජනහමුව අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ,

” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රට ගොඩනඟපු දේශපාලන බලවේගයක්. ඒවගේම රටට වැඩකරපු කණ්ඩායමක්. දඹුල්ලට වගේම සමස්ත රටටම සංවර්ධනයක් ගෙනාවා නම් ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ. අපිට එදා සැලැස්මක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා අධිවේගී මාර්ග හදලා උතුරත් දකුණත් යා කරමින් මේ රටේ මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම අපිට එදා දැක්මක් තිබුණා. අපිට අවශ්‍යව තිබුණා එදා අධිවේගී මාර්ග ස්ථාපිත කරමින් මහනුවර කන්ද උඩරට දක්වා මාර්ග සංවර්ධනය කරන්න. අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ගය දඹුල්ලට ගේන්න. අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මෙම අධිවේගී මාර්ගය ස්ථාපිත කිරීමට අවශ්‍ය කාරණා හෝ අධිවේගී මාර්ග පිළිබඳව අවබෝධයක් තිබුණේ නෑ.

ඇතැම් දේශපාලඥයෝ හිතුවේ මේ අධිවේගී මාර්ග ස්ථාපිත කරන්නේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා. මහා මාර්ග කාපට් කරන්නේ කොන්ක්‍රීට් කරන්නේ කන්න ද කියලා අහපු දේශපාලඥයෝත් හිටියා. නමුත් අද මම සතුටු වෙනවා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලූවිට මෙම අධිවේගී මාර්ග පද්ධතිය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අද ඒ අය මේක යථාර්ථවාදීව දැකීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. නමුත් 2015 ට පෙර මෙම සංවර්ධන යෝජනා ක්‍රම දෙස කුහකත්වයෙන් බැලීම පිළිබඳව මම කණගාටු වෙනවා. අපිට අවශ්‍යතාවය තිබුණා දඹුල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයේ විදියට ගොඩනැගී තිබෙන දඹුල්ල ඊළඟ පියවර දක්වා රැගෙන යන්න.

එක් පැත්තකින් අධිවේගී මාර්ග සම්බන්ධ වනවිට තාක්ෂණය බද්ධ කරගත් කර්මාන්ත දඹුල්ලේ ගොඩනැගෙන විට දඹුල්ලේ දෙමාපියන්ගේ දරුවන්ට ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවලට යොමු කරන්න අවශ්‍ය වෙනවා. අපිට දැක්මක් සහ සැලැස්මක් තිබෙනවා. අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ රට යා කළ යුතුයි කියන ස්ථාවරයේ අපි පැහැදිලිවම ඉන්නවා. ඒ වගේම ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම තුළ ගමේ පාර හදන්න ඕන කියන තැන අපි ඉන්නවා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්නවා වගේම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඊළඟ පරම්පරාවට ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නවා. වවන්න පුළුවන් හැම බිම් අඟලකම වගා කරන්න ඕන කියන ස්ථාවරය අපි ඉන්නවා. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන්න උත්සාහ කරන ආණ්ඩුවක් නොවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා විශ්වාස කරන දේශපාලන බලවේගයක්. ඒ වගේම අපි දේශීයත්වය අගය කරනවා. අපි අපේ සංස්කෘතිය අගය කරනවා. මේ මහපොළොවේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා. අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ගමන් බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුණු මේ මාතෘභූමිය ආරක්ෂා කරන ගමන් අනෙක් සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. තවත් පැත්තකින් අනාගතයේ දකින ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙලක් සමඟ කටයුතු කරනවා. අපේ වයස්වල තරුණ තරුණයන්ගේ අවශ්‍යතා පිළිබඳව අපි දන්නවා. මෙම තරුණ තරුණියන්ගේ හෙට දවසේ අවශ්‍යතා පිළිබඳව ද අවබෝධයක් තිබෙනවා.

මේ රටේ ගොඩනැගෙන දැවැන්ත ආර්ථික පරිවර්තනය තුළ 2035 වනවිට අපේ මාතෘ භූමිය අපි දියුණුම රට බවට පරිවර්තනය කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. අපි ඒක කරනවා. මේක කරන්න අපිට උවමනාවකුත් තිබෙනවා. අපි වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි මේ රටට වැඩකර තිබෙනවා. අද දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සියලු දෙනාටම අපි සුභ පතනවා. ඔවුන් සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ වහාම මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ නූතනත්වය සහ නවීකරණය රැගෙන එන බවට අපි පොරොන්දු වෙනවා. ඒ තුළ දරුවන්ට උසස් පෙළ විභාගය ලියා විශ්ව විද්‍යාලයට යනවා ද අනෙක් පැත්තෙන් නිපුණතාවය, කාර්මික පුහුණුව, වෘත්තීය පුහුණුව වගේම ව්‍යවසායක වෙනව ද යන්න තීන්දු කිරීමේ අයිතිය ඒ දරුවන්ට අපි ලබා දෙනවා. නූතන ලෝකයට අවශ්‍ය දරුවකු ගොඩනඟන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රතිව්‍යුහකරණය අපි සිදුකරනවා.

සියලු පාසල් වගේම සියලු රෝහල් ජාලගත කලයුතු වෙනවා. පාසල සහ රෝහල ජාලගත කිරීම තුළ ගුරුහිඟය වෙන්න පුළුවන් වෛද්‍යවරු සහ හෙද හෙදියන්ගේ හිඟය වෙන්න පුළුවන් අනෙකුත් කාර්ය මණ්ඩලවල හිඟය වෙන්න පුළුවන් මෙම ගැටළු සඳහා නිශ්චිත පිළිතුරක් ලබාදීමට හැකියාව ලැබෙනවා. නිවැරදි දත්තයන්ට අනුකූලව රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරන්න පුළුවන් වැඩපිළිවෙල සහ තාක්ෂණය අපි හඳුන්වා දෙනවා. මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජීවත්වන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළයුතු වෙනවා. රැකියා උත්පාදනය කරන්නත් එක් පැත්තකින් ව්‍යවසායකයා ශක්තිමත් කළ යුතු වෙනවා. ග්‍රාමීය හා සමුපකාර බැංකු පද්ධතිය ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙන්න පියවර ගන්නවා. තවත් පැත්තකින් දේශීය හා විදේශීය ව්‍යවසායකයින් හරහා හැම මැතිවරණ කොට්ඨාශයකම කර්මාන්තශාලා ස්ථාපිත කරනවා.

ඒ තුළ ගමේ තරුණයාගේ විරැකියා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙනවා. අපිට ඉලක්කයක් තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත තාක්ෂණික ක්ෂේත්‍රය හා මේ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් රැකියා ලක්ෂ විස්සක් බිහි කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කරන ආදායම උත්පාදන මාර්ග බිහිකරන්නත් අපට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා. අපි මේ රටට ද්‍රෝහී වුණු පිරිසක් නොවෙයි. අපි හැමදාම මේ රටට ආදරය කළ පිරිසක්. අපි මේ මහ පොළොව ආරක්ෂා කළ අය. එදා මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමඟ යුද්ධ කළේ දෙමළ ජාතියත් එක්ක නොවෙයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟයි. එම ත්‍රස්තවාදී සංවිධානය විසින් එක් පැත්තකින් දඹුල්ලට අනෙක් පැත්තෙන් මම ජීවත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයට රන්මිණිතැන්නට එහා පැත්තෙන් මාතරට ප්‍රහාර එල්ල කළා.

බොහෝ නායකයෝ මේක මග හැරියා. ඒ වගේම සටන් පාඨයක් විදිහට තමන්ගේ ආරක්ෂාවට හෝ වෙනත් හේතුවක් මත ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඔබ එදා ඉල්ලුවේ මේ රට නිදහස් කර දෙන්න කියලයි. ඒ අනුව වසර තුනක් ඇතුළත රටට නිදහස ලබා දුන්නා පමණක් නොව එතුමාගේ පාලන කාලය තුළ ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කළා. ඒ මාර්ගයේ ගමන් කරමින් ඊළඟ වසර දහය ඇතුළත මේ මාතෘ භූමිය වැඩබිමක් බවට පරිවර්තනය කරනවා පමණක් නොව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කරනවා.”’ යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!