විජයදාසට 40යි

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥ දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනුයි.

විජයදාස රාජපක්ෂ මහතා යටතේ පුහුණු වන සහ පුහුණුව ලැබූ කනිෂ්ඨ නීතීඥයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා..

ශ්‍රී ලංකීය දේශපාලනය සහ නීතීඥ වෘත්තිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන විජයදාස රාජපක්ෂ මහතා සාහිත්‍යකරුවෙකු, ලේඛකයකු, ගීත රචකයෙකු ලෙස සහ කලාකරුවෙකු ලෙසද සිදු කර ඇති සේවය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

1977 වසරේ තමා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අවස්ථාවේ විජයදාස රාජපක්ෂ මහතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔහු එකල එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ අපේක්ෂකයෙකු වූ බවත් සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා ලෙස අද ඒ මහතා පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ඉදිරි වෘත්තීය කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක් කර සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!