ඉන්දියාවේ සිට ලංකාවට තෙල් නලයක් – ඉන්දීය සංචාරයේදී එකඟතාවයට පැමිණේ

ඉන්දියාවේ සිට ලංකාවට ඉන්ධන සැපයීම සදහා තෙල් නලයක් ඉදිකිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී එකගතාවයට පැමිණ තිබේ.

මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබාගැනීමටද දෙරටේ රාජ්‍ය නායකයින් එකගතාවයට පැමිණ ඇත.

මේ අතර ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ කරමින් අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ඇති කිරීමටද දෙරටේ රාජ්‍ය නායකයින් එකගවූ බව ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ඉන්දියාව සහ ලංකාව ප්‍රකාශ කරයි.

සාම්පූර් බලාගාරයේ කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, ලංකාවේ එකගතාවය අනුව එහි ධරිතාවය ඉහළ නැංවීමටත් මෙහිදී එකගවී ඇත. එල්.එන්.ජී. සැපයීම ඉන්දියාවෙන් සිදු කිරීමටද මෙහිදී එකගවී තිබේ.

ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සදහා මේ වන විට දෙරට අතර පවතින එකගතාවය අනුව කටයුතු කිරීමටත්, ත්‍රිකුණාමලය කලාපයී කර්මාන්ත හා බලශක්ති මධ්‍යස්ථානයක් ලෙසත් දියුණු කිරීමට මෙහිදී එකගවී තිබේ.

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමටද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින් එකගතාවය පළ කර ඇතැයි ඒකාබ්දධ නිවේදනයේ සදහන් වේ.

ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වයට ද අහිතකර ලෙස තම භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහිදී ඉන්දියාවට සහතික වී තිබේ.

ඉන්දියාවේ අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තිය සහ සාගර් දැක්ම තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයක් හිමිවන බවත්, මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවත් මෝදි අගමැතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායකට සහතික වී ඇත.

ඩිජිටල්කරණය සදහා සහාය ලබාදීමටද ඉන්දියාව මෙහිදී සිය එකගතාවය පළ කරනු ලැබුවේය. ඒ අනුව Unique Digital Identity (SLUDI)ව්‍යපාෘතියට සහාය ලබාදීමට, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනයටද ඉන්දියාවේ සහාය ලබාගැනීමටද මෙහිදී එකගතාවයකට පැමිණ තිබේ.